මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක සාමාජිකයන්ට වන්දි ගෙවීමට රුසියාවේ එකඟතාවය
රුසියාවේදී මිය ගිය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ගෙවීමට රුසියාව එකඟ වී තිබෙනවා.
මේ බව රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ දින (02) අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ලංකාවට පැමිණි රුසියානු ජාතිකයන්ගෙන් තමන්ට ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් බවත් එහි සිටින ජනතාව ඉතා සුහදශීලී ජනතාවක් බවත් දැනගන්නට ලැබුණු බවයි.
ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරෙකු බව සිහිපත් කළ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව සහතික කළා. තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට සහයෝගය අවශ්‍ය සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානමින් සිටින බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේදී අවශ්‍ය රුසියානු තෙල් කඩිනමින් සැපයීමට පියවර ගන්නා බවත්, රුසියානු ආයෝජකයන් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයන් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවටත් ඔහු පොරොන්දු වුණා.
එසේම දෙරටේ පැරණි මිතුදම වෙනුවෙන් ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට එකඟ වූ ඔහු රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී එකඟතාවය පළ කළා.
ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකින් පසුවන අවස්ථාවක අපගේ පැරණි මිතුරෙකු වන රුසියානු රජය විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම දැඩි සේ අගය කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළා.
වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි කාලයේදී රුසියාව සමඟ තවත් දීර්ඝකාලීන වෙළෙඳ ගිවිසුම්වලටත් එළඹීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.