ගල් අඟුරු ගනුදෙනුවෙන් රටට කෝටි 848ක පාඩුවක්
මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848කට ආසන්න මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදුන් විශේෂ වාර්තාවක සඳහන් වේ.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම නැව්වලින් කිසිදු එකකින් මෙගාවොට් 300ක විදුලි බලය නිෂ්පාදනය කිරීමට නොහැකි බවයි. එසේම එම ගල් අඟුරුවල අලු ප්‍රතිශතය සියයට 102කට වඩා ඉහළ බවත් ඔහු සඳහන් කළේය.
බාල ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් තවමත් දඩ මුදල් අයකර ගෙන නොමැති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ පමණක් යැවීමට සීමා වූ බැවින් වහාම දඩ මුදල් අය කිරීමට නිර්දේශ කර ඇති බවද පැවසීය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙරද එම කාරක සභාවට උපදෙස් දී තිබූයේ, අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිතයෙන් සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට බරපතළ හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයන් පසුගිය දිනවල අනතුරු ඇඟවා තිබේ.