ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්
පසුගිය පෙබරවාරි 28 වැනි දින ආරම්භ වූ ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉරානය සහ ගල්ෆ් කලාපයේ වේගයෙන් පිරිහෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආරම්භයේ සිටම ඉන්දියාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත්, ගැටුම් උත්සන්න කිරීමෙන් වළකින ලෙසත්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන ලෙසත් ඉල්ලා සිටි බවයි.
එසේ වුවත්,“අවාසනාවකට මෙන්, ශුද්ධ වූ රාමසාන් මාසය තුළ තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇත,” යනුවෙන් අඳාළ ප්‍රකාශයේ සඳහන්.
එමෙන්ම එහිදී මෙම ගැටුමේ තීව්‍රතාවය සහ භූගෝලීය ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳව අවධාරණය කර ඇත.
එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ, එම කලාපයේ වෙසෙන ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රධානතම අවධානයට යොමු වූ කරුණක් බවයි.
එනම් ඉන්දියානුවන් කෝටියකට ආසන්න පිරිසක් ගල්ෆ් රටවල් පුරා ජීවත් වන අතර රැකියාවල නියුක්තව සිටීම හේතුවෙන් මෙම තත්ත්වය ඉන්දියාවට විශේෂයෙන්ම සංවේදී වේ.
ඊට අමතරව වෙළඳ නෞකාවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව ද ඉන්දියාව සිය කනස්සල්ල පළ කරන අතර, මෑතකදී සිදු වූ සිදුවීම්වලින් සමහර ඉන්දීය ජාතිකයන්ට ජීවිත අහිමි වීම් හෝ අතුරුදහන් වීම් වී ඇති බවත් අඳාළ නිවේදනයේ දැක්වෙන බව වාර්තා වේ.