චීන ජනපතිගෙන් ලංකාවට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර ඇත.
චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලි මෙන්ම දෙපාර්ශවයටම ලාභදායි සහයෝගීතාවයක් අනුගමනය කරන හවුල්කරුවන් වන අතර සංවර්ධන සහ පුනර්ජීවන මාවතේ ගමන්කරන්න මිත්‍රයන් බවත් ෂී මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.
2025 ජනවාරි මාසයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය සිහිපත් කරමින් ෂී මහතා පවසා ඇත්තේ එම සංචාරයේදී ඵලදායී සාකච්ඡා පවත්වා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම පුළුල් එකඟතාවයකට පැමිණි බවය.
එමෙන්ම චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් දක්වන බව ද ෂී මහතා පවසයි. චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉහළ දැමීමට සහ දෙරටේ ජනතාවට වඩා ඉහළ ප්‍රතිලාභ ලබා දීම සඳහා සහයෝගිමත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සූදානමින් සිටින බවද චීන ජනපති ෂී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ද චීන අගමැති ලී කියැං මහතා නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එවා තිබුණි.