චීන අභ්‍යවකාශ වැඩසටහනට ඓතිහාසික ජයක් අත්කර දෙමින් නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් ගොඩබස්වයි
චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ විශාල ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, පළමු වරට නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් සාර්ථකව පෘථිවියට ගොඩබැස්වූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව (CASC) සඳහන් කළේ, දකුණු චීනයේ හයිනාන් ප්‍රදේශයෙන් “ලෝං මාර්ච් 10B” (Long March 10B) රොකට්ටුව සිකුරාදා පෙරවරු 12.15ට (දේශීය වේලාව) ගුවන්ගත කළ බවයි.
රොකට්ටුවේ ඉහළ අදියරෙන් වෙන්වීමෙන් මිනිත්තු හයකට පමණ පසු එහි බූස්ටර කොටස සෘජුවම පෘථිවිය දෙසට බැස, මුහුදේ පිහිටි පාවෙන වේදිකාවක් මත සාර්ථකව නැවත ලබාගැනීමට හැකි වී තිබේ.
මෙම සාර්ථකත්වයත් සමඟ නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණයේ ඉදිරියෙන් සිටින ඇමරිකානු සමාගම් වන එලන් මස්ක්ගේ SpaceX සහ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමඟ තරඟ කිරීමට චීනයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් රොකට් ගුවන්ගත කිරීමේදී එහි කොටස් ඉවත දමා විනාශ වන බැවින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ. එහෙත් රොකට්ටුවේ වඩාත්ම වටිනා කොටස වන බූස්ටර නැවත භාවිත කිරීමෙන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ සහ අභ්‍යවකාශ ගවේෂණයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
2015 දෙසැම්බර් මාසයේදී SpaceX සමාගම සිය Falcon 9 රොකට්ටුවක් පළමු වරට නැවත භාවිතයට ගත හැකි ආකාරයෙන් ගොඩබැස්වීමට සමත් වූ අතර, 2025 නොවැම්බර් මාසයේදී Blue Origin සමාගමද New Glenn රොකට්ටුව සමඟ එවැනි සාර්ථකත්වයක් ලබා ගත්තේය.
මේ වන විට Falcon 9 රොකට්ටු වසරකට ආසන්න වශයෙන් 150 වතාවක් ගුවන්ගත වන අතර, එහි බූස්ටර කොටස් කිහිප දස වතාවක් නැවත භාවිත කළ හැකි බව සඳහන් වේ. චීනය මීට පෙර පෙබරවාරි මාසයේදී නැවත භාවිත කළ හැකි රොකට් කොටසක් ගොඩබැස්වීමට උත්සාහ කළ අතර, එම අවස්ථාවේ Long March 10A රොකට්ටුව පාලනය කළ බැසීමක් සිදු කළ නමුත් ගොඩබැසීමේ වේදිකාව අසල මුහුදට වැටී තිබුණි.
Long March 10B රොකට්ටුවට අඩු පෘථිවි කක්ෂයට (Low Earth Orbit) අවම වශයෙන් මෙට්‍රික් ටොන් 16ක බරක් රැගෙන යා හැකි අතර, එය SpaceX Falcon 9 සමඟ සසඳා ඇත. කෙසේ වෙතත් Falcon 9 මෙන් නොව Long March 10B රොකට්ටුව ස්වයංක්‍රීයව ගොඩබිම් වේදිකාවකට හෝ ඩ්‍රෝන් නෞකාවකට ගොඩබැසීම සිදු නොකරයි.
ඒ වෙනුවට රොකට්ටුවේ ඇති විශේෂ “ගොඩබැසීමේ කොකු” මගින් පාවෙන වේදිකාවක සවිකර ඇති දැලක් අල්ලා ගැනීමෙන් එය නැවත ලබාගනී. මෙම පුවතත් සමඟ චීන අභ්‍යවකාශ සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් ඇති අතර, China Spacesat සහ China Satellite Communications යන සමාගම් දෙකේ කොටස් මිල රටේ වෙළෙඳපොළ නීති අනුව දිනකට අවසර දී ඇති උපරිම සීමාව වන 10%කින් ඉහළ ගොස් තිබේ.