වසර 6ක් සේවය කළ ඔහු බිරිඳත් එක්කම යන්න යයි - අවසාන වශයෙනුත් ලංකාවට කෘතඥ වෙමින් චීන තානාපතිගෙන් සමුගැනීමේ පණිවිඩයක්
වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) සහ බිරිඳ මෙරටින් නික්ම යාමට සූදානම් වේ.
ඒ අනුව සිය ධුර කාලය අවසන් කරමින් විශේෂ සමුගැනීමේ ප්‍රකාශයක් නිකුත් කරමින් තානාපතිවරයා සිය කෘතඥතාව සහ අදහස් පළ කර තිබුණේ, "සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු" යන්න තේමා කරගනිමින්.
එමෙන්ම ෂී ෂෙන්ග්හොන්ග් තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්‍රී ලංකාවේ ගත කළ බව සඳහන් කරමින් පෙන්වා දුන්නේ පසුගිය වසර හය පුරා පැවැති අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවයි.
එසේම ඔහු කොවිඩ්-19 වසංගත සමය, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, 'දිට්වා' (Ditwah) සුළි සුළං ආපදාව මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ඇති වූ බලශක්ති අර්බුදය වැනි සෑම අවස්ථාවකදීම චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකා ළඟ නොසැලී සිටි බව සිහිපත් කරයි.
තවද ඓතිහාසික 'රබර්-සහල් ගිවිසුමේ' අන්තර්ගත වූ ස්වාධීනත්වය, ස්වයංපෝෂිතභාවය සහ එකිනෙකාට උපකාර කරගැනීමේ පරමාදර්ශී පදනම මත පිහිටා දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගිය බව සඳහන් කරන ඔහු එළඹෙන වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70ක් පිරෙන බව සිහිපත් කරයි.
එබැවින් ඉදිරියටත් දෙරට අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික, ඩිජිටල් පරිවර්තන, නව බලශක්ති සහ සාගර ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කරගැනීමට චීනය සූදානම් බව තානාපතිවරයා ප්‍රකාශ කරයි.
අවසාන වශයෙන් තානාපති ෂී ෂෙන්ග්හොන්ග්, තමන් කොතැනක සිටියද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කරමින් ඔහු සිය සමුගැනීමේ පණිවිඩය අවසන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයට, පාර්ලිමේන්තුවට, දේශපාලන පක්ෂවලට, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට, මාධ්‍යයට සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සිය පූර්ණ කෘතඥතාව පළ කරමින්.