චීන ආධාර පුහුණු වැඩසටහන්වලින් ශ්‍රී ලාංකිකයන් 1,000 කට සුභ ආරංචියක්
චීනය ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනයට ලබාදෙන සහයෝගය තවදුරටත් පුළුල් කරන බවත්, "එක් තීරයක් – එක් මාවතක්" මුලපිරීම යටතේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවත් ගැඹුරු කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා පැවසීය.
ගෙවුණු 20 වැනිදා පැවති 2025 චීන ආධාර පුහුණු වැඩසටහන් ආදි ශිෂ්‍ය පිළිගැනීමේ උත්සවය අමතමින් තානාපතිවරයා කියා සිටියේ:
“2025 වසරේදී පමණක් චීන ආධාර අරමුදල් සහිත පුහුණු වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලාංකික නිලධාරීන් සහ වෘත්තිකයන් 1,000කට ආසන්න පිරිසකට ආරාධනා කර ඇති බවයි. ඉන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව සකස් කළ වැඩසටහන් 19ක් ද ඇතුළත්ය.”
රාජ්‍ය පරිපාලනය, වෙළඳාම, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසර ආරක්ෂාව සහ ආපදා කළමනාකරණය ඇතුළු අංශ ආවරණය වන මෙම පුහුණුවලට අමාත්‍යාංශ නිලධාරීන්, පර්යේෂණ ආයතන නියෝජිතයන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ද සහභාගී වෙති.
කෘත්‍රිම බුද්ධිය (AI), ක්වොන්ටම් තාක්ෂණය, 6G සන්නිවේදනය, පුනර්ජනනීය බලශක්තිය සහ ජෛව තාක්ෂණය වැනි නවීනතම ක්ෂේත්රවල චීනයේ වේගවත් ප්‍රගතිය ඉස්මතු කළ තානාපතිවරයා, චීනයේ “AI+” මුලපිරීම කර්මාන්ත හා දෛනික ජීවිතය පරිවර්තනය කරමින් ඉහළ තත්ත්වයේ ආර්ථික සංවර්ධනයක් උදාකරමින් සිටින බව ද සඳහන් කළේය.
චීනයේ 15වැනි පස් අවුරුදු සැලැස්ම ඉදිරි වසර පහේ රටේ සංවර්ධනය හැඩගස්වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලවත් ගෝලීය බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එය බටහිර මාදිලියට සීමා නොවන නවීකරණයේ මාවතක් ලෙස නැගී එන ආර්ථිකයන්ට විකල්ප සංවර්ධන පථ පෙන්වන බවත් ඔහු අවධාරණය කළේය.
මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ සංචාර, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නැවත ආරම්භය, සිනොපෙක් ආයෝජන ප්‍රගතිය සහ විදුලි බස් රථ සැපයීම පිළිබඳ සාකච්ඡා උදාහරණයට ගෙන, චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් වෙමින් පවතින බව තානාපති ක්වි මහතා පෙන්වා දුන්නේය.
“චීනය සමඟ සමීප සබඳතා ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන්මග සහ ඔරොත්තු දීමේ හැකියාව තවත් වැඩිදියුණු කරනු ඇත. ගෝලීය වේදිකාවේ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයට චීනය කැපවී සිටී”
යයි ද ඔහු තරයේ පැවසීය.
චීන ආධාර පුහුණු වැඩසටහන්වල ආදි ශිෂ්‍යයන් දෙරට අතර මිත්‍රත්වය හා ජනතා-ජනතා සබඳතා තවත් ශක්තිමත් කිරීමට ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ලෙසද තානාපතිවරයා ඉල්ලා සිටියේය.