ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලෙස උණ බම්බු ජෛව වැටක් ඉදිකිරීමට චීනයේ සහාය හිමිවෙයි
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පුරා පවතින අලි-මිනිස් ගැටුම සඳහා පරිසර හිතකාමී සහ තිරසාර විසඳුමක් ලෙස උණ බම්බු යොදා ජෛව වැටක් (Bio-fence) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහාය ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබේ.
මෙම එකඟතාවට එළඹ ඇත්තේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීනයේ බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානය (International Center for Bamboo and Rattan - ICBR) වෙත කළ නිල අධ්‍යයන සංචාරයකදීය.
සාකච්ඡාවලදී උණ බම්බු වගාව, නවීන සැකසුම් තාක්ෂණ, උණ බම්බු ආශ්රිත කාර්මික නිෂ්පාදන සහ ඒවායේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව දෙපාර්ශ්වය කරුණු හුවමාරු කරගෙන තිබේ.
අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා උණ බම්බු ජෛව වැටක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, චීන පාර්ශ්වය නවීන තාක්ෂණය, හොඳම භාවිතයන් සහ පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සඳහා පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන මගින් අලි-මිනිස් ගැටුම අවම කිරීම පමණක් නොව, උණ බම්බු ආශ්රිත නිෂ්පාදන මඟින් ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථික අවස්ථාද වැඩිදියුණු කළ හැකි බව අපේක්ෂා කෙරේ.