චිකුන්ගුන්යා ද? - ඇඟපත වේදනාවට වේදනා නාශක ගත්තොත් ප්‍රතිඵලය දරුණුයි
පවතින වැසිබර කාලගුණ තත්ත්වයත් සමඟ බස්නාහිර පළාත තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවට තහවුරු වී ඇත.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගවල මුල් අවස්ථාවන්හිදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන බැවින්, උණ, හිසරදය, ඇඟපත වේදනාව, සහ වමනය වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බව ඔහු සඳහන් කළේය. එබැවින්, මෙවැනි රෝග ලක්ෂණ දින දෙකට වඩා පවතින්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
චිකුන්ගුන්යා රෝගයේදී ඇඟපත වේදනාව බහුලව දක්නට ලැබෙන බැවින්, වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වැළකී, උණ හා වේදනාව අවම කිරීම සඳහා පැරසිටමෝල් භාවිත කරන ලෙස විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වේදනා නාශක භාවිතයෙන් බරපතළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම, රෝගය හේතුවෙන් ඇතිවන විජලන තත්ත්වයන් වැළැක්වීම සඳහා ජලය, පළතුරු යුෂ, කැඳ, සහ ජීවනී වැනි ලවණ සහිත පාන වර්ග බහුලව පානය කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
රෝග ලක්ෂණ මතුවුවහොත්, එය ඩෙංගු හෝ චිකුන්ගුන්යා යනුවෙන් නිවැරදිව හඳුනාගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බැවින්, නිවැරදි රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත් බව ඔහු පැවසීය.
එමෙන්ම, චිකුන්ගුන්යා රෝගයෙන් පසුව ඇතැම් රෝගීන්ට දීර්ඝකාලීන හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ පවතින බැවින්, ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
