ලංකා ඉතිහාසය හඬවන චෙම්මනි සමූහ මිනීවළ-කැණීම් අද සිට යළිත් දැඩි වෙයි
යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතුවල තුන්වන අදියරේ තෙවැනි කොටස අද (බදාදා) උදෑසන යළි ආරම්භ කර තිබේ. අදාළ කැණීම් කටයුතු දින 56ක කාලයක් තුළ සිදු කිරීමට අධිකරණය අවසර ලබාදී තිබූ අතර, එම වැඩසටහනේ දින 32ක් අවසන් වීමෙන් අනතුරුව ජූනි 23 දින කැණීම් කටයුතු තාවකාලිකව නතර කෙරිණි.
එම විරාමයෙන් පසුව තුන්වන අදියරේ තෙවැනි කොටස මේ වන විට නැවත ආරම්භ කර ඇත. චෙම්මනි සමූහ මිනීවළේ කැණීම්වල පළමු අදියර පසුගිය වසරේ මැයි 15 වැනිදා ආරම්භ වූ අතර එය දින නවයක් පුරා පැවැත්විණි.
එම කාලය තුළ පුද්ගලයන් 19 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වූහ. මෙම සොයාගැනීම් හේතුවෙන් චෙම්මනි ප්‍රදේශය පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාව මතුවිය.
දෙවැනි අදියර පසුගිය වසරේ ජූනි 26 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 3 වැනිදා දක්වා දින 45ක් පුරා ක්‍රියාත්මක විය. එම අදියර අවසන් වන විට පළමු අදියරේ සොයාගත් අස්ථි කොටස් ද ඇතුළුව පුද්ගලයන් 240 දෙනෙකුට අයත් අස්ථි අවශේෂ හඳුනාගෙන තිබුණි. මෙම සොයාගැනීම් ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළක් ලෙස චෙම්මනි ස්ථානය පිළිබඳ අවධානය තවදුරටත් වැඩි කිරීමට හේතු විය.
මෙම වසරේ අප්‍රේල් 27 සිට මැයි 9 දක්වා දින 12ක් පුරා පැවති තුන්වන අදියරේ පළමු කොටස අතරතුර තවත් පුද්ගලයන් 21 දෙනෙකුගේ අස්ථි අවශේෂ සොයාගෙන තිබේ. ඉන් අනතුරුව ජූනි 1 වැනිදා ආරම්භ වූ දෙවැනි කොටස දින 22ක් ක්‍රියාත්මක වූ අතර ජූනි 23 දින තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
එම විරාමයෙන් පසුව අද සිට තෙවැනි කොටස යළි ආරම්භ කර ඇති අතර ඉදිරි දිනවලදී තවත් කැණීම් සහ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
මේ දක්වා චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි අවශේෂ කට්ටල 412ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 409ක් සම්පූර්ණයෙන්ම කැණීම් කර පිටතට ගෙන තිබේ.
ඉතිරි අවශේෂ සම්බන්ධයෙන් ද විද්‍යාත්මක හා අධිකරණමය ක්‍රියාමාර්ග අනුව පරීක්ෂණ ඉදිරියට ගෙන යනු ඇතැයි බලධාරීහු පවසති. චෙම්මනි සමූහ මිනීවළ ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම සමූහ මිනීවළ ලෙස සැලකෙන අතර, එහි සිදු කෙරෙන කැණීම් සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මඟින් ඉදිරි කාලයේදී තවත් වැදගත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.