අහුන්ගල්ල සිදුවිමට සම්බන්ද STF නිලධාරීන් පිළිබද අධිකරණය ගත් තීරණය..
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ දින (10) නිෂ්ප්‍රභ කළේය.
ඒ, එම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදීය. බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැළෑ රොදක් තුළ ගිනිඅවියක් පෙන්වීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකළ බවට චෝදනා එල්ලවිය.
2022 වර්ෂයේ ඔක්තෝබර් 11වනදා ගාලු පාරේ අහුන්ගල්ල තරු පන්තියේ සුපිරි හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව 2022 ඔක්තෝබර් 12 වනදා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ සැකකරු සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සඟවා තිබූ ගිනිඅවිය රැගෙන වෙඩිතැබීමට තැත්කර ඇතැයි වාර්තා විය. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ සැකකරු බලපිටිය මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙකි.
මේ සිද්ධිය සම්බන්ධ නඩුව බලපිටිය මහාධිකරණයේදී විභාග වෙමින් පවතින අතරතුර මියගිය සැකකරුගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව ඔහු විසින් තම ඥාතියා වෙඩිතබා ඝාතනය කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබාදුන් අතර මෙම නඩුව බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණි.
මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීතිපතිවරයා විසින් ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණේ මෙහි කිසිදු පුද්ගලයෙකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවය.
ඒ අනුව මෙම නඩු විභාගය දෙසැම්බර් 10 දක්වා කල්තබා තිබුණි.
ඊයේ දින බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නඩුව කැඳවූ අතර එහිදී බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී ජානක මහතා මෙම නඩුව නිෂ්ප්‍රභ කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය සංවිධානාත්මක අපරාධකරු වන මහේෂ් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටිය පොඩි ඉන්දික නමැත්තාගේ අනියම් බිරිඳ වන පියුමි වත්සලා නමැත්තියට එරෙහිව බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් වූ නඩුව ද අද දින කැඳවන ලද අතර එය මාර්තු 25වනදා දක්වා කල් තැබුණි.
You may like this video