හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා - විශේෂ අනාවරණයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වසර ගණනාවක් තිස්සේ පැවැති දීර්ඝ නීතිමය ආරවුල දෙපාර්ශ්වයේම එකඟතාව මත අවසන් වී ඇති බව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.
ඒ අනුව, ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ නඩුව ඉවත් කර ගැනීමට හතුරුසිංහ මහතා එකඟ වීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහු වෙත අමෙරිකානු ඩොලර් 164,000 ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇත.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී මාස 36 ක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව, විනය ගැටලු සහ කණ්ඩායමේ දුර්වල තරගකාරී මට්ටම හේතු දක්වමින් 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්හිටුවීමට කටයුතු කළේය.
ඊට එරෙහි වූ හතුරුසිංහ මහතා, ස්විට්සර්ලන්තයේ CAS අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දැවැන්ත වන්දියක් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, තාක්ෂණික හේතූන් මත එම නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි වූ අතර, පසුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු නැවතත් ඩොලර් 450,000 ක වන්දියක් ඉල්ලා අලුතින් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 මූල්‍ය වාර්තාවලට අනුව, මෙම වසරේ මුල් භාගයේදී දෙපාර්ශ්වය අවසන් එකඟතාවයකට පැමිණ ඇති අතර, අවසාන වන්දි මුදල ලෙස ඩොලර් 164,000 ක් ගෙවා දමමින් මෙම දීර්ඝ කාලීන නීතිමය ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ගැනීමට කටයුතු කර ඇත.
මෙම සමස්ත ක්‍රියාදාමය පිළිබඳව මීට පෙර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද ක්‍රිකට් ආයතන නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව තිබුණි.