ඉන්ධන මිලදී ගැනීමේදී එක් ලීටරයක් වෙනුවෙන් රුපියල් 118 ක ප්‍රිමියම් ගාස්තුවක් - ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
පසුගිය කාලසීමාව තුළ මෙරටට ඩීසල් මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අර්බුධකාරී තත්ත්වය සහ පවතින ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මාධ්‍ය හමුවක් තුළින් කරුණු රැසක් හෙළි කර ඇත.
එහිදී විදේශීය සමාගමකින් ඉන්ධන මිලදී ගැනීමේදී එක් ලීටරයක් වෙනුවෙන් රුපියල් 118 ක ප්‍රිමියම් ගාස්තුවක් ගෙවා ඇති බවත්, ඉන් රුපියල් 110 ක්ම අමතර බදු වශයෙන් එකතු වී ඇති බවත් ඔහු පවසා ඇත.
එසේම ඩීසල් ලීටරයක මිල රුපියල් 720 ක් සහ රු. 750 ක් වන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇතත්, එම මිල ගණන් සැකසුණු ආකාරය පිළිබඳව රටට පැහැදිලි කරන ලෙස හිටපු අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට අභියෝගයක්ද එල්ල කර ඇත.
බොරතෙල් බැරලයක මිල 26% කින් අඩු වෙලා හැබැයි මාලිමාව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා - ගම්මන්පිල
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, "ලෝක වෙළඳපොළේ මිල ගණන් සංසන්දනය කිරීමේදී වත්මන් ඉන්ධන මිල පදනම් විරහිතයි. සිංගප්පූර් ප්ලැට්ස් (Singapore Platts) දර්ශකය යනු සිංගප්පූරුවේ දේශීය තෙල් මිල නොව ජාත්‍යන්තර මිල දර්ශකයක් බව වටහා ගත යුතුයි." යනුවෙන්.
එමෙන්ම ඉකුත් යුද සමයේ සිට මේ දක්වා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වෙනස් වූ ආකාරය දත්ත සහිතව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, ජාත්‍යන්තර මිල දර්ශක (Index) මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් ඇති බව ද පැවසුවා.
තවද ජාත්‍යන්තර මිල දර්ශකය ඉහළ මට්ටමක පැවති වකවානුවක පවා ලංකාවේ ඩීසල් ලීටරයක මිල පැවතියේ රුපියල් 281 ක් වැනි මට්ටමක බවත්, ජාත්‍යන්තර මිල දර්ශක පහළ බසිමින් පවතින පසුබිමක, වත්මන් පාලනය යටතේ දේශීය ඩීසල් ලීටරයක මිල රුපියල් 403 ක් දක්වා ඉහළ නංවා ඇති බවත් හිටපු අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
එබැවින් වත්මන් පාලනය යටතේ දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන්නේ ලෝක වෙළඳපොළේ පවතින අර්බුදයක් හේතුවෙන් නොව, පාලනාධිකාරියේ දුර්වල කළමනාකරණය සහ විනිවිදභාවයකින් තොර ක්‍රියාවලිය නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.