කුඩා තේ වතු ගොවීන්ව නගා සිටුවන්න "සිලෝන් ටී විලේජ්" තේ ගම්මාන 500ක් ඇරඹිමට සුදානම්

Report

කුඩා තේ වතු ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව සහ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් බිහිකිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය 2026 ජූලි 15 දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේ හල්ගොල්ල හපුගස්තලාවේදී පැවැත්වීමට නියමිතය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම වැඩසටහන පිළිබඳ තොරතුරු අනාවරණය කෙරිණි.

මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය එක්ව ක්‍රියාත්මක කරයි.

කුරුඳු මිල අහස උසට - මැයි මාසයේ තැබූ වාර්තාව මෙන්න!

කුරුඳු මිල අහස උසට - මැයි මාසයේ තැබූ වාර්තාව මෙන්න!

වැඩසටහන මගින් කුඩා තේ වතු ගොවීන්ගේ දළු අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්‍රය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වාදීම, ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම අපේක්ෂා කෙරේ.

රජයේ ඉලක්කයට අනුව, 2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 95ක් අපනයනය කරන අතර, දේශීය පරිභෝජනය සියයට 5ක් පමණ වන බවයි.

තේ ගම්මාන 500 වැඩසටහන මගින් ගුණාත්මක තේ නිෂ්පාදනය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුම සහ අපනයන ආදායම වැඩි කිරීම අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

තවද, මෙරට තේ වගාවෙන් සියයට 75ක පමණ නිෂ්පාදනය කුඩා තේ වතු හිමියන් විසින් සිදු කරන බවත්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අතුරු ආදායම් මාර්ග ද ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩසටහන යටතේ 2026 වසරේදී දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි මූලික අදියරේ තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එම ගම්මාන තෝරා ගැනීම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්ණායක මත සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කතරගම පාද යාත්‍රා බැතිමතුන්ගේ අවධානයට - මේ විශේෂ පිවිසුම අද සිට විවෘතයි

කතරගම පාද යාත්‍රා බැතිමතුන්ගේ අවධානයට - මේ විශේෂ පිවිසුම අද සිට විවෘතයි