කතරගම පාද යාත්‍රා බැතිමතුන්ගේ අවධානයට - මේ විශේෂ පිවිසුම අද සිට විවෘතයි
කතරගම ඇසළ පෙරහැරට සමගාමීව පාද යාත්‍රාවෙන් කතරගම බලා පැමිණෙන බැතිමතුන් සඳහා යාල ජාතික වනෝද්‍යානයේ කුමන පිවිසුම අද (10) සිට විවෘත කරන බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම පිවිසුම ජූලි 24 දක්වා විවෘතව පවතින අතර, උතුරු ප්‍රදේශවල සිට කතරගම බලා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට ඒ හරහා ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙයි.
බැතිමතුන්ගේ ආරක්ෂාව මෙන්ම වනජීවී පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එම මාර්ගෝපදේශ අනුව වනජීවී වාසස්ථානවලට හානි නොකරන ලෙසත්, පරිසරයට හානියක් නොවන අයුරින් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙසත් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තවද, පවතින වියළි කාලගුණය සැලකිල්ලට ගනිමින් වන සතුන්ගෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ද යොදවා ඇති බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.