මිනුත්තුවට අඩි 22,000ක වේගයෙන් මුහුදට - සාජා සිට ආ පකිස්ථාන ගුවන් යානයක් රේඩාර් පද්ධතියෙන් අතුරුදන්

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට කරච්චි බලා පියාසර කරමින් තිබූ පකිස්ථානයේ K2 Airways සමාගමට අයත් බෝයිං 737-400 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අඟහරුවාදා රාත්‍රියේ ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා අහිමි කරගෙන ඇති බව පකිස්ථාන ගුවන් සේවා බලධාරීහු පවසති.

කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත් ගුවන් යානය, කරච්චි වෙත ළඟාවෙමින් සිටියදී නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කර ඇති අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසු රේඩාර් පද්ධතිවලින් අතුරුදන් වී තිබේ.

පකිස්ථාන ගුවන්තොටුපළ අධිකාරිය ප්‍රකාශ කළේ, අතුරුදන් වූ ගුවන් යානය සොයා මුහුදේ පුළුල් සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එම මෙහෙයුම් සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරමින් සිටී. ගුවන් ගමන් නිරීක්ෂණ සේවාව වන Flightradar24 හි දත්තවලට අනුව, ගුවන් යානය කරච්චි නගරයට නිරිත දෙසින් මුහුදට කඩා වැටී ඇතැයි සැක කෙරේ.

අවසන් මිනිත්තු කිහිපය තුළ යානයේ උන්නතාංශය අසාමාන්‍ය ලෙස ඉහළ පහළ ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඉතා වේගවත් බැසීමක් වාර්තා වී තිබේ.

අවසන් සංඥාව ලැබෙන අවස්ථාවේදී යානය මුහුදු මට්ටමේ සිට අඩි 1,100ක උසකින් පියාසර කරමින් සිට ඇති අතර, එහි සිරස් බැසීමේ වේගය විනාඩියකට අඩි 22,400කට ආසන්න අගයක් ලෙස සටහන් වී තිබේ.

ගුවන් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ එවැනි අසාමාන්‍ය බැසීමක් සිදුවීමට හේතුව මේ මොහොතේ නිශ්චිතව තීරණය කළ නොහැකි බවයි.

වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරවල පලිය ගන්න අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරවල පලිය ගන්න අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ K2 Airways සමාගම සඳහන් කළේ, පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවත්, ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත්ය.

අතුරුදන් වූ බෝයිං 737-400 ගුවන් යානය වසර 27ක් පැරණි එකක් වන අතර, මුලින් මගී ප්‍රවාහන යානයක් ලෙස භාවිතයට ගෙන පසුව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පරිවර්තනය කර තිබේ.

2024 වසරේදී එය K2 Airways සමාගමට එක් කර ඇති අතර, එම සමාගම සතු එකම ගුවන් යානයද මෙය බව වාර්තා වෙයි. මේ වන විට ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ ඉරණම සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පකිස්ථාන බලධාරීහු පවසති.