ජංගම දුරකථන භාවිතයේ සීමාවන් නොමැති වීම පවුල් ජීවිතයට බලපාන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිගෙන් වැදගත් පණිවිඩයක්
ජංගම දුරකථන සහ නවීන තාක්ෂණයට අධික ලෙස ඇබ්බැහි වීම වර්තමාන සමාජයේ පවුල් සංස්ථාවට මෙන්ම මානව සබඳතාවලටද අහිතකර ලෙස බලපා ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කරති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ, නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව මෙරට පරිභෝජනවාදී සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වූ බවයි.
එම පසුබිම තුළ මිනිසුන් තුළ කෘත්‍රිම ආශාවන් සහ අවශ්‍යතා නිර්මාණය කරමින් මුදල් ඉපයීම සමාජයේ ප්‍රධාන අරමුණක් බවට පත්ව ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
සීදුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළ කාදිනල් හිමියන් කියා සිටියේ, වෙළෙඳපොළ ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ සැබෑ අවශ්‍යතා මත නොව, කෘත්‍රිමව උත්පාදනය කරන ලද ආශාවන් මත පදනම්ව බවයි.
නිදහස් වෙළෙඳ ආර්ථිකය හරහා මීට පෙර නොතිබූ අසීමිත අවශ්‍යතා සහ ආශාවන් ජනතාව තුළ ඇති කර ඇති අතර, ඒවා පදනම් කරගනිමින් ලාභ උපයා ගැනීම වෙළෙඳපොළේ මූලික අරමුණ බවට පත්ව ඇති බවද මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
" මේ නිදහස් වෙළෙඳ ආර්ථිකය මේ රටට හඳුන්වා දීමෙන් පස්සේ රටේ මිනිස්සුන්ට නැති ආසාවන් ඇති වෙලා තියෙන්නේ මේකට කියන්නේ පරිභෝජන වාදය කියලා පුළුවන් තරම් එකතු කර ගැනීමට තියෙන ආසාව. දැන් ඉස්සර නම් පාරේ මනුස්සයෙක් තනියෙන් කතා කර කර ගියොත් අල්ලලා ගිහින් අංගොඩට භාර දෙනවා. දැන් මිනිස්සු මේ කලේ මොකක්දෝ එකක් ගහගෙන කෑ ගගහා ඇවිදිනවා. පරිභෝජන වාදයේ එක අංගයක් තමයි සමහර අය ඇවිත් මට කියනවා දැන් ඔබ වහන්සේ ලේටර්ස්ට් එක ගත්ත ද කියලා. මට තේරෙන්නේ නෑ මේ ලේටර්ස්ට් එක කියන්නේ මොනවාද කියලා. අපිට ෆොන් එකක් තිබුණම ඒකෙන් කෝල් එකක් ගන්නයි පණිවිඩයක් දෙනයි තමයි ඔය පාවිච්චි කරන්නේ දැන්මේ ෆෝන් එක තමයි සම්පූර්ණ ජීවිතය. ඇදට ගිහිලත් ෆෝන්එක බල බලා ඉන්නවා රෑ තිස්සේ නිදා ගන්නේ නෑ එළී වෙනකම් වැඩසටහන් බලනවා. අම්මලා තාත්තලා දරුවෝ පවුල් ජීවිතයක් නෑ වටිනාකම් ඔක්කොම නැති වෙලා. මාර්කට් ඉකෝනොමි ඒ කියන්නේ වෙළෙඳ ආර්ථිකය ඇඟ ඇතුලේ නැති ආසාවන් ඇති කරලා එවායින් මුදල් හම්බ කිරීම තමයි අද සමාජය මෙහෙයවන්නේ. ඉගෙන ගත්තම අපි හිතනවා අපි ලෝකේ ගැන දන්වා කියලා. සමාජය ඉහළ තත්ත්වයන්ට එනකොට උඩගු වෙනවා."