හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්රීක බැඳුම්කර නඩුවට සිදුවූ දේ මෙන්න
ග්රීක බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් ශ්රී ලංකා රජයට පාඩු සිදු කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයට අධිකරණ බලය තිබේද යන්න සම්බන්ධ නියෝගය ජූලි මස 13 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.
අදාළ නඩුව අද (30) ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
2018 වසරේ අධිකරණ සංවිධාන (සංශෝධිත) පනත යටතේ පිහිටුවන ලද ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයට මෙම නඩුව විභාග කළ නොහැකි බව, විත්තිකරු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් වාචිකව කරුණු දක්වමින් ප්රකාශ කර තිබුණි.
ඊට ප්රතිචාර ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිය ප්රතිවිරෝධතා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, විත්ති පාර්ශ්වයද ඊට වාචිකව ප්රතිවිරෝධතා ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ජූලි 2 වනදාට පෙර ගොනු කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.