රජයෙන් අතිවිශේෂ ගැසට් එකක් - ආයේ සබන් විකුණනවනම් මේ නීතිය අනිවාර්යයෙන් නැත්නම් නීතිය ක්‍රියාත්මකයි
වෙළෙඳපොළේ ඇති සබන් වර්ග කිහිපයක් ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම සිදු කිරීමේදී ඒවායේ ඇසුරුම්වල හෝ ලේබලයේ නිශ්චිත තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව පනවා ඇති මෙම නව නියෝගය සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන්ට අදාළ වන පරිදි ක්‍රියාත්මක වේ.
මෙම නව විධානයට අනුව අදාළ සබන් නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද පැහැදිලිව සටහන් කළ යුතුය.
මීට අමතරව ඇසුරුම් කරන ලද අවස්ථාවේදී අදාළ නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 ට නොඅඩු ඝන අකුරින් ඇසුරුම මත මුද්‍රණය කිරීම ද අනිවාර්ය කර ඇත.
මෙම නව රෙගුලාසි මාලාව ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් යන සබන් වර්ග සඳහා අදාළ වන බව එම ගැසට් නිවේදනයේ උපලේඛනයේ දක්වා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව විධිවිධාන ක්‍රියාත්මක වීමට නියමිතය.