මේ වාහනවල දෝෂ ගොඩයි - ලාබෙට හදලා තියෙන්නේ කොලිටිය අඩු කරලා
ලොව විශාලතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම මඟින් තාක්ෂණික දෝෂ නිසා වාහන 115,000කට වැඩි සංඛ්‍යාවක් යළි කැඳවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම සිදුවීම Reuters, BloomBerg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ පිරිවැය අවම කිරීමට සමාගම දක්වන සැලකිල්ල මත ගුණාත්මකභාවය අඩුවීම පිළිබඳව ඉහළ දැමීමට බල කෙරී ඇති බවටයි.
කෙසේ වෙතත් සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව දෙමුහුන් (Hybrid) සහ විද්‍යුත් (Pure-Electric) මාදිලි දෙකම ඉලක්ක කර ගනිමින් මෙම වෙනම කැඳවීම් දෙක සිදුකරන බව එම නියාමන ආයතනය සිකුරාදා (ඔක්තෝබර් 17, 2025) ප්‍රකාශයක් නිකුත් කරමින් දැක්වූවා.
එසේම වාහන නැවත කැඳවීම් සුලභ වුවද මෙම දෝෂ මූලික ධාවන පද්ධති සහ බැටරි උපාංගවලට සම්බන්ධ වීම විශේෂිත බව සඳහන්.
මේ අතර මෙම වසරේ BYD හි ප්‍රධාන ප්‍රතිවාදියා වන Xiaomi සමාගමේ මෝටර් රථ සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකකින් EV ආරක්ෂාව පිළිබඳව චීන පාරිභෝගික කනස්සල්ල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම දෝෂ තත්ත්වය එම කනස්සල්ල තවදුරටත් වර්ධනය කළ හැකි බව වාර්තා වේ.
මෙහි පළමු කැඳවීමට 2015 මාර්තු සහ 2017 ජූලි අතර නිෂ්පාදනය කරන ලද ප්‍රමුඛතම දෙමුහුන් ටැං (Tang) මාලාවේ පැරණි මාදිලියේ ඒකක 44,000ක් පමණ ඇතුළත් වේ.
එසේම උපාංග සැලසුමක සහ ධාවන මෝටර් පාලකයේ (drive motor controller) ඇති දෝෂ නිසා පරිපථ පුවරුව දැවී යාමට හෝ, දරුණු අවස්ථාවලදී, බලය අහිමි වීමට පවා ඉඩ ඇති බව ද වාර්තා වේ.
තවද 2021 පෙබරවාරි සහ 2022 අගෝස්තු අතර නිෂ්පාදනය කරන ලද විද්‍යුත් යුවාන් ප්‍රෝ (Yuan Pro) ක්‍රොස්ඕවර් රථ 70,000ක් පමණ ආපසු කැදවීමට අයත් වෙන බව සඳහන්.
බැටරියේ ජල ආරක්ෂිත සැලසුමේ ඇති දෝෂයක් නිසා බල නිමැවුම අඩු වීමට ඉඩ ඇති බව පවසයි.
ඒ අනුව BYD සමාගම මෙම ගැටලුවට බැටරි ආවරණයට සීලන්ට් ආලේප කිරීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් BYD සමාගම දේශීය, මිල-තරඟකාරී සමාගමක් වශයෙන් පැවති ප්‍රතිරූපය ඉවත් කර ගෝලීය සන්නාමයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරවාරයේ, චීනයේ මෝටර් රථ මිල යුද්ධය නිසා දේශීය වෙළඳපලෙහි එහි ආධිපත්‍යය අඩු වී තිබෙනවා.
තවද මෙම EV දැවැන්තයා සැප්තැම්බර් මාසයේදී මාස 18කට පසු තම පළමු මාසික විකුණුම් අඩුවීම වාර්තා කළ අතර, එම කාලය තුළ චීනයේ වැඩිම අලෙවියක් සහිත සන්නාමය වශයෙන් පැවති තත්ත්වයද අහිමි කර ගෙන ඇත.
එමෙන්ම, වෙළඳපල තුළ පවතින දුෂ්කර තත්ත්වයන් නිසා සමාගමට 2025 වසර වෙනුවෙන් වූ සිය විකුණුම් ඉලක්කය ඒකක මිලියන 5.5 සිට මිලියන 4.6 දක්වා අඩු කිරීමට ද සිදු වී ඇති බව සඳහන්.