බ්‍රිතාන්‍යයේ වෙරළ තීරයකදී අවාසනාවන්ත සිදුවීමක්- 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා මුහුදේ ගිලී මරුට

Report

බ්‍රිතාන්‍යයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රදේශයේ කැම්බර් සෑන්ඩ්ස් වෙරළ තීරයේදී මුහුදේ දුෂ්කරතාවකට පත්වූ 18 හැවිරිදි බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙකු මියගොස් තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරිදා සවස කැම්බර් සෑන්ඩ්ස් මුහුදේ පුද්ගලයින් තිදෙනෙකු දුෂ්කරතාවකට පත්ව ඇති බවට  හදිසි සේවා වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, සසෙක්ස් පොලිසිය, වෙරළාරක්ෂක කණ්ඩායම්, පෙට් ලෙවල් ජීවිතාරක්ෂක බෝට්ටුව සහ ගිනිකොනදිග වෙරළ ගිලන්රථ සේවය එක්ව සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියදී විනාඩි 30කට පමණ පසු 18 හැවිරිදි තරුණයා මුහුදෙන් ගොඩට ගැනීමට හදිසි සේවා කණ්ඩායම් සමත්ව තිබේ. අනතුරුව ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා පරිපූරක වෛද්‍ය කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව තිබුණද, එම උත්සාහයන් සාර්ථක වී නොමැති අතර, ටික වේලාවකට පසු ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ.

හෝමුස් අර්බුදය හමුවේ ලෝක තෙල් මිල යළිත් අහස උසට

හෝමුස් අර්බුදය හමුවේ ලෝක තෙල් මිල යළිත් අහස උසට

සිද්ධියෙන් මියගිය තරුණයාගේ ළඟම ඥාතීන් වෙත මේ වනවිට දැනුම් දී ඇති බව සසෙක්ස් පොලිසිය සඳහන් කර ඇත. මුහුදේ දුෂ්කරතාවට පත්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ආරක්ෂිතව වෙරළට පැමිණීමට සමත්ව ඇති අතර, ඔවුන් අතර 16 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 24 හැවිරිදි පුද්ගලයෙකු සිටින බව වාර්තා වේ.

මෙම තිදෙනාම එකිනෙකා හඳුනන අය වන අතර, ඔවුන් ලන්ඩනයේ සිට කැම්බර් සෑන්ඩ්ස් වෙත පැමිණ තිබූ බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් මුලදී පොලිසිය මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 24ක් ලෙස සඳහන් කළද, පසුව සිදුකළ තහවුරු කිරීමකදී ඔහු 18 හැවිරිදි තරුණයෙකු බව පැහැදිලි කර තිබේ.

මේ අතර, මරණය සම්බන්ධයෙන් කිසිදු සැකසහිත තත්ත්වයක් මෙතෙක් අනාවරණය වී නොමැති බව සසෙක්ස් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මරණයට හේතුව පිළිබඳ ඉදිරි පරීක්ෂණ මරණ පරීක්ෂකවරයා විසින් සිදුකිරීමට නියමිතය.