බී ලූණු බදු වංචාව - රජයේ නොහැකියාවෙන් ගොවියා අතරමං
අක්කරයක බී ලූණු වගාවකට රුපියල් ලක්ෂ 5-6 අතර වියදමක් යන අතර, කිලෝවකට රුපියල් 200ක් සාධාරණ මිලක් ලෙස සැලකුවත් දැන් ලැබෙන්නේ රුපියල් 110-120 පමණි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බී ලූණු ගොවියා ආරක්ෂා කිරීමට බදු ගැසීමක් සිදුකළ විට විශාල ප්‍රමාණයක් ආනයනය කර ගබඩා කර අවසන් බවත්, මෙවැනි ක්‍රියාමාර්ගවලින් රජය දැන් ගොවියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වීරයන් මෙන් කතා කරන බවත් ඔහු චෝදනා කළේය.
බදු ගැසීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියකුට තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවූ බවත්, සීනි බදු වංචාව මෙන් ලූනු බදු, අර්තාපල් බදු වංචාවක් ඇත්දැයි ප්‍රශ්න කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මෙම අදහස් පළ කළේ ඊයේ(29) මින්නේරිය ආසනයේ ඇලහැර ප්‍රදේශයේ යාය 26 කොට්ටාසයේ පැවැත්වූ "ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා" වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකදීය.
ආණ්ඩුවක් කළ යුතු අමාරු වැඩයක් බවත්, මෙම රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වී ඇති බවත්, බී ලූණු, වී, අර්තාපල් ගොවියාගේ හදගැස්ම නොතේරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බදු ගැසිය යුතු වෙලාවට බදු නොගැසීමෙන් රජයේ නොහැකියාව සහ අදක්ෂකම නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත්, "එක පෑන් පාරින් විසදුම්" දෙන බව කිව්වත් කිසිදු විසදුමක් ලැබී නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. රුපියල් 5,000 පොහොර මිටිය "එපා" කියා මාලිමාවට ඡන්දය දුන් ගොවියා අද අතරමං වී ඇති බවත්, දෙනවා කියා පොහොර සහනාධාරය දැන් හරියට නැති බවත්, විදුලි බිල 33%කින් අඩු කරන බව කිව්වත් එය සිදුවී නැති බවත්, නුදුරේදී විදුලි බිල නැවත වැඩි වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ අතිමහත් බහුතරය මංමුලා කර මුසාව මුලාව රජ වූ බවත්, අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබෙන, අලි-මිනිස් ගැටුම්වලට විසඳුම් නොමැති, වගාව සඳහා පොහොර, බීජ, උපකරණ මිලක් නැති යුගයක තමන්ට හැකි පමණින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවත්, පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් කමිටුවලදීත් උපරිම බලපෑම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වී ගොවියාට ලබාදෙන බව කිව්ව සාධාරණ මිල අද නොමැති බවත්, රජයේ වී ගබඩා තිබුණත් රුපියල් 120ට වී ගත් ගබඩාවක්වත් නොමැති බවත්, "බොරුවට වී ගන්නවා" යැයි ප්‍රචාරය දියත්කළත් මෙම මිලට වී මිලදී නොගත් බවත්, ඡන්දය දිනන්න ගොවිජන ව්‍යාපාරයක් පෙන්වා ගොවියා රජකරනවා කියා රුපියල් 150ක් දෙනවා කිව්වත් එය නොදුන් බවත්, ගොවියා රවටා බලය ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිත බව කිව්වත් ග්‍රාමීය රෝහල්වලට නිසි පහසුකම් නොමැති බවත්, "පොහොසත් රටයි, ලස්සන ජීවිතයයි" කියන්නේ මේකට නොවන බවත්, සමගි ජන බලවේග රජයක් තුළ දේශපාලන පක්ෂ නොව පොදු ජනතාව රජකරන යුගයක් උදාකරවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක්, කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුමුල්ලෙන් ආරම්භ වූ අතර, මෙම ජංගම සේවා වැඩසටහන ද එහි කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.