බුලත් අත සහ එහි සැඟවුණු අර්ථය...!!!
බුලත් අතක බුලත් කොළ හතලිහක් තියෙන්න ඕන. හේතුව දන්නවද? අපේ හෙල සිරිත් විරිත්වල ගරු බුහුමනට පාවිච්චි කරන දෙයක් තමයි බුලත් කියන්නෙ.
ස්වාමින් වහන්සේ නමකට ධර්ම දේශනාවකට ආරාධනා කරද්දි, දානෙ ගෙදරකදි මඟුල් ගෙදරකදි, අවමඟුල් ගෙදරකදි, අමුත්තෙක් ගෙදරට ආවම, මේ වගේ ඕනම උත්සව අවස්ථාවක ගරු බුහුමනට තමයි බුලත් පාවිච්චි කරන්නෙ.
බුලත් අතකට බුලත් කොළ හතලිහක් තියෙනවා. අපි වැඩිහිටියන්ට වඳින්නෙ මේ බුලත් කොළ හතලිහක් තියෙන බුලත් අතකින්. ඒකෙ ලොකු අර්ථයක් තියෙනවා.
අපි අතින් සිදුවෙන අකුසල් දහයක් තියෙනවා. දස අකුසල් කියලා. මේ දස අකුසලය කිරීම, කරවීම, කරන්න අනුබල දීම, කිරීම වර්ණනා කිරීම කියලා කාරණා හතරෙන් හතලිස් ආකාරයකින් පවු වෙනවා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ආවා වූ සසර ගමනේදි මාගේ සිතින් කයින් වචනයෙන් මේ හතලිස් ආකාරයකින් සිදුවුන අවැඩට අසාධාරණයට කමා වෙත්වා කියලයි බුලත් කොළ හතලිහක් තියෙන බුලත් අතක් වැඩිහියන්ට දීල වැඳීමේ සැඟවුන අරුත.
මේ අරුත නොදන්න නිසාම ඇතැම් අය බුලත් කොළ පහක් දහයක් අරගෙන වඳිනවා. නමුත් තේරුම් ගන්න ! හෙලයන් කිසිම දෙයක් තේරුමක් නැතිව කරල නැහැ.
ඔබ මේ අලුත් අවුරුද්දට වැඩිහිටියන්ට වඳින්න බුලත් කොළ හතලිහක් තියෙන බුලත් අතක් ගන්න ! අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මාගේ සිතින් කයින් වචනයෙන් හතලිස් ආකාරයකින් සිදු වුනා වූ සියලු වැරදි සියලු අවැඩ අසාධාරණ කමා කරමී ! කමා කරමී ! කමා කරමී ! කමාව ලැබේවා ! කමාව ලැබේවා !
කමාව ලැබේවා ! කියන නියම හෙල සිරිතට අනුව වැඩිහිටියන්ට වන්දනා කරන්න ! කළණ මිතුරන් හමුවෙන අමා දම් දිය පෙවෙන හදේ දුක් ගිනි නිවෙන සොඳුරු වසරක් ඔබට වේවා!
උපුටා ගැනීමකි
