නීතියට කොකා පෙන්නපු බැසිල් රාජපක්ෂට මේ පාර වැඩ වරදී - දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දැඩි නියෝගයක්
බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අද (18) දින නැවත කැඳවීය.
ඒ අනුව එම නඩුව අයථා ලෙස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදාගනිමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා තිබුණා.
එමෙන්ම විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.
නඩුවේ තුන්වන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා, ඔහු තැන්පත් කර ඇති ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර සිටි අතර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ පුද්ගලයන් තිදෙනෙකුට දඩ මුදල් නියම කර තිබෙනවා.
එසේම එම දඩ මුදල් නොගෙවන්නේ නම් බන්ධනාගාරගත කිරීමටද නියෝග කර ඇත. තවද බැසිල් රාජපක්ෂ මහතාට නිකුත් කර ඇති වරෙන්තුව ලබන ඔක්තෝබර් 27 වන දින තෙක් දීර්ඝ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.