''ජනාධිපති හමුවේ සිදුවූ සියල්ල ඕනෑ'' - නීතිඥ සංගමයෙන් සම්පූර්ණ වීඩියෝවක් ඉල්ලයි
අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
අගෝස්තු 14 වැනිදා යොමු කළ ලිපියක් මගින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ මේ වනවිට එම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටිගත කිරීමෙන් කොටසක් පමණක් තමන් වෙත ලැබී ඇති බවයි.
ලැබී ඇති වීඩියෝව සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේ කොටසකට පමණක් සීමා වී ඇති අතර, එහි ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලිව නොඇසෙන බව එම ලිපියේ සඳහන් කර ඇත.
ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු අදහස් දැක්වීම්, මැදිහත්වීම්, නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිතයන් විසින් අවසානයේ ඉදිරිපත් කළ අදහස්ද ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා තිබේ.
එම වීඩියෝ පටිගත කිරීම හැකි ඉහළම ශව්‍ය සහ දෘශ්‍ය ගුණාත්මකභාවයෙන් ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත. අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යාලය වෙත යොමුකර තිබේ.