මාස 3ක් ගිහින් ඕස්ට්‍රේලියාවේ "සමාජ මාධ්‍ය තහනම" අන්තයටම ෆේල්ද? ඇත්තම තත්ත්වය මෙන්න
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවේචන හමුවේ ඕස්ට්‍රේලියානු රජය සෙනසුරාදා එම ප්‍රතිපත්තිය ආරක්ෂා කළේය.
එම තීරණය ගෙන ඇත්තේ, තහනම ක්‍රියාත්මක වී මාස තුනක් ගතවූ පසුවද වයස අවුරුදු 10ත් 15ත් අතර දරුවන්ගෙන් බහුතරයක් තවමත් සමාජ මාධ්‍ය භාවිත කරන බව නව දත්තවලින් අනාවරණය වීමත් සමඟය.
ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂක නියාමකයා වන eSafety ආයතනයේ සමීක්ෂණයට අනුව, තහනම බලාත්මක වී මාස තුනකට පසුවද ඕස්ට්‍රේලියානු යෞවනයන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුට වඩා වැඩි පිරිසක් තවමත් සමාජ මාධ්‍ය භාවිත කරති.
මෙම සොයාගැනීමෙන් ඩිජිටල් ලෝකයේ මෙවැනි සීමා ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පැහැදිලි වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දරුවන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය මගින් ඇතිවන බලපෑම් පිළිබඳ පවතින කනස්සල්ල සැලකිල්ලට ගනිමින් ඕස්ට්‍රේලියානු රජය පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම සන්ධිස්ථාන නීතිය බලාත්මක කළේය.
ජාත්‍යන්තර අවධානයට ලක්වූ මෙම නීතිය, බොහෝ දුරට එක්සත් ජනපදය පදනම් කරගත් සමාජ මාධ්‍ය සමාගම්වල විවේචනයටද ලක්ව තිබේ. නව දත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඵලදායිතාව, තරඟකාරිත්වය, පුණ්‍යායතන සහ භාණ්ඩාගාරය පිළිබඳ සහකාර අමාත්‍ය ඇන්ඩෲ ලී පැවසුවේ, මෙම තහනම දැනටමත් ජාතික මට්ටමේ සංවාදය වෙනස් කිරීමට සමත් වී ඇති බවයි.
"මෙය දෙමාපියන් අතර ඉතා වැදගත් සංවාදයක් ඇති කළ ප්‍රතිපත්තියක්. මිලියන ගණනක ගිණුම් වසා දමා තිබෙනවා. මෙම නීතියෙන් සියයට 100ක අනුකූලතාවක් අප කිසිදා අපේක්ෂා කළේ නැහැ. අවම මත්පැන් පානය කිරීමේ වයස් සීමාව සම්බන්ධ නීතිවලදීත් සියයට 100ක අනුකූලතාවක් නොලැබුණත්, එවැනි නීති පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, eSafety ආයතනයේ අධ්‍යයනයෙන් හෙළි වූයේ තහනම බලාත්මක වීමට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට සමාන ලෙසම වයස අවුරුදු 10 සිට 15 දක්වා දරුවන් මාර්තු මාසයේදීද සමාජ මාධ්‍ය භාවිත කර ඇති බවයි.
එමෙන්ම, තම දරුවන්ගේ මාර්ගගත ක්‍රියාකාරකම් පිළිබඳ දෙමාපියන්ගේ දැනුවත්භාවයද අඩුවී ඇති බව වාර්තාවේ සඳහන් වේ. මෙම සොයාගැනීම්, තාක්ෂණික සමාගම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පනවනු ලබන උපරිම දඩ මුදල දෙගුණ කිරීම ඇතුළු දැඩි බලාත්මක කිරීමේ යෝජනා රජය ඉදිරිපත් කළ පසුබිමක තවත් අවධානයට ලක්ව තිබේ.