විගණකාධිපති ධුරය පුරප්පාඩුවට මාස ගණනක් - ස්ථිර විගණකාධිපති පත්කිරීම නැතිව රටේ මුදල් අවදානමේ..
මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයක දැක්වෙන ආකාරයට, මාස අටක් ගත වී තිබියදීත් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් නොකිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට හාස්‍යයට ලක් කිරීමක් බව අවධාරණය කෙරේ.
රාජ්‍ය මූල්‍ය විගණනය යනු ශ්‍රී ලාංකික ජනතාවගේ පරමාධිපත්‍යය බලය ඵලදායී ලෙස භාවිත කිරීමට උපකාරී වන මධ්‍යම ආයතනයකි. මෙරටේ එහි ඉතිහාසය 17වන සියවසේ අගභාගය දක්වා දිවෙයි. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය මගින් විගණකාධිපතිවරයාට රාජ්‍ය මූල්‍ය විගණනයට අවශ්‍ය අධිකාරිය ලබා දී ඇත. රාජ්‍ය මූල්‍ය විනය සහ විගණනය රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතියට බලපාන මූලික සාධකයකි.
2015 මැයි 15 වැනිදා සිට ක්‍රියාත්මක 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට රාමුවක් නිර්මාණය විය. විගණන සේවා කොමිෂන් සභාව එහි මධ්‍යම ආයතනය වන අතර, ව්‍යවස්ථාවේ 153 (1) වගන්තිය අනුව විගණකාධිපතිවරයා එහි සභාපතිවරයාද වේ. එබැවින් මෙම කොමිසමටද සභාපතිවරයෙකු අහිමි වී ඇති බවත්, එය විගණන සේවාවේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් නිවේදනයේ සඳහන්ය.
පෙර විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා මෙම වසරේ අප්‍රේල් 8 වැනිදා විශ්‍රාම ගොස් දින 265ක් ගත වී ඇතත්, ජාතික විගණන කාර්යාලය ස්ථිර විගණකාධිපතිවරයෙකු නොමැතිව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහිදී වැඩි කණගාටුදායක කරුණ වන්නේ විධායක ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර ඇතිව තිබෙන ගැටලුවයි.
විගණකාධිපතිවරයා පත් කිරීම ජනාධිපතිවරයාගේ නාමයෝජනාව සහ ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය මත සිදු විය යුතුය. නමුත් අවස්ථා හතරකදී ජනාධිපතිවරයා යෝජනා කළ නම් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර, එම නිසා වැඩබලන පත්කිරීම් සිදුව තිබේ. අවසාන යෝජනාවද සභාවේ අනුමැතිය නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවකි.
සමාජයේ ඇතැම් මතවාද අනුව, ව්‍යවස්ථාදායක සභාවේ කාල සීමාව අවසන් වන තුරු මෙය කල් දැමීමක් බවත් පැතිරෙයි. මෙවැනි අවිනිශ්චිත තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ පුරවැසි අපේක්ෂාවන්ට බලපෑම් එල්ල කරන බැවින්, මාර්තු 12 ව්‍යාපාරය වගකිවයුත් පාර්ශ්වයන්ට පහත ඉල්ලීම් ඉදිරිපත් කරයි:
- විගණකාධිපතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව වහා ක්‍රියාමාර්ග ගත යුතුය. විපත් සමයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන මොහොතක මෙම ප්‍රමාදය කණගාටුදායකය.
- නවීන රාජ්‍යකරණයේදී ආයතන අතර සහයෝගය අත්‍යවශ්‍යය. එබැවින් ජනාධිපතිවරයා සහ සභාව සාකච්ඡා මගින් නොපමාව තීරණ ගත යුතුය.
- ශ්‍රී ලංකාව 1977 සිට ලීමා ප්‍රකාශනයට සහ 2007 මෙක්සිකෝ ප්‍රකාශනයට බැඳී සිටින බැවින්, ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව ක්‍රියා කළ යුතුය.
- වැඩබලන පත්කිරීම් දිගටම සිදුවීමෙන් ආයතනයේ ස්වාධීනත්වයට සහ ජනවිශ්වාසයට හානි සිදුවේ. මෙය රාජ්‍ය ආයතන දේශපාලනීකරණයේ තවත් පියවරක් විය හැක.
- ජාතික ජනබලවේග ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වූ උසස් රාජ්‍යකරණය ඉටු කිරීමට ක්‍රියාමාර්ග ගෙන, ඡන්දදායකයන්ගේ විශ්වාසය ආරක්ෂා කළ යුතුය.