වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි
විදුලි බල මණ්ඩලය කෑලි අටකට බෙදා පෞද්ගලීකරණයට අදාළ පනත සම්මත වී තිබියදී, ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දුවකට අනුව එම පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එසේම, සේවකයන්ට හොඳම ආරක්ෂාව සැපයූයේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. විදුලි බල මණ්ඩලය රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිතව ඇති බවත්, මෙම සංශෝධනයට එරෙහි විරෝධතාවලට දේශපාලනික හස්තයක් තිබේද යන්න සේවකයන් විසින් හඳුනාගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සේවකයන් වෙනුවෙන් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනාවක් හඳුන්වා දී ඇති බවත්, එය තමන්ගේ කැමැත්ත අනුව ලබාගත හැකි බවත්, වර්තමාන උද්ඝෝෂණ සාධාරණ නොවන බවත්, වත්මන් රජය පෞද්ගලීකරණය හෝ සේවක මර්ධනය සිදු නොකරන බවත්, විදුලි බල මණ්ඩලයේ සහ සේවකයන්ගේ ආරක්ෂාව රැකගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ වැඩකරන ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට රජය කටයුතු කර ඇති අතර, ඇතැම් සුළු පිරිසක් ඊට එරෙහිව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, නාමල් රාජපක්ෂ මහතාගේ පමණක් නොව, ඔහුගේ බිරිඳගේ සහ මාමණ්ඩිලාගේ රජය සම්බන්ධ ව්‍යාපාර පිළිබඳ පැමිණිලි ඇති බවත්, ඔවුන්ගේ වත්කම් හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාදීමේ වගකීම වත්මන් ආණ්ඩුව සමාජයට පෙන්වා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තම වත්කම් හෙළිදරව් කළ බවත්, එය ලබා නොදුන් දේශපාලඥයන් සම්බන්ධයෙන් අදාළ ආයතන නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.