ඩොලර් 187,000ක අයථා ගනුදෙනුවක් - ක්‍රිකට් ලොක්කෙක්ට වැඩ වරදී
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (05) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි පියල් නන්දන දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු වූයේ අධිකරණයේ අවසරය මත විදේශගතව සිටින සැකකරු නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඇමරිකානු ඩොලර් 187,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන ගණනක) මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති මෙම නඩුව 2018 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අනවසර පිවිසීමකින් ඇමරිකාවේ බැංකුවකට බැර කර ඇති බවත්, එම මුදල් මේ වන විට අත්හිටුවා ඇති බවත්ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින්, තම සේවාදායකයාගේ දායකත්වයට අදාළ කිසිදු කරුණක් අනාවරණය නොවූ බැවින්ද, විමර්ශන අවසන් බැවින්ද ඔහු නඩුවෙන් මුදා හැරීම ඉල්ලා සිටියේය.
නීතිපතිගේ උපදෙස් පතා ඇති බවත්, ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එය අවශ්‍ය බවත් පොලිස් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අධිකරණයේ අවසරය මත විදේශගත වුවද, නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව අවධාරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් වරෙන්තුව නිකුත් කළේය.
මෙම නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවන ලෙසද අධිකරණය නියම කළේය.