රුපියල් කෝටි ගණනක කොකේන් සමඟ ඇන්ගෝලා කාන්තාවක් කටුනායකදී රේගු දැලේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් සමඟ ඇන්ගෝලා ජාතික කාන්තාවක රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාව 54 හැවිරිදි වියේ පසුවන අතර, ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා නුවර හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගුවන් යානයෙන් පිටතට පැමිණීමෙන් පසු ඇය රෝද පුටුවක් භාවිත කරමින් ගුවන්තොටුපොළ පර්යන්තය වෙත ගමන් කර ඇති අතර, එහිදී ඇයගේ සැකසහිත හැසිරීම පිළිබඳ රේගු නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය සතුව තිබූ කොකේන් අඩංගු කරල් 14ක් ස්වේච්ඡාවෙන්ම රේගු නිලධාරීන් වෙත භාර දී ඇත.
තවද, තවත් මත්ද්‍රව්‍ය කරල් කිහිපයක් තමන් විසින් ගිල දමා ඇති බවද ඇය රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.