වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් මිය යන බවට වාර්තා
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසන්නේ, වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මිය යන බවයි. ඊයේ (03) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, දරුවන්ගේ මුල් අවස්ථාවේ දී හඳුනාගන්නා අසාමාන්‍ය රෝග ලක්ෂණවලට අවධානය යොමු කළහොත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව ඇති බවත් සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, ළමුන් අතර ලියුකේමියාව, වසාග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා, සහ ඇස් ආශ්‍රිත පිළිකා බහුලව දක්නට ලැබෙන බවයි. වසරකට හඳුනාගන්නා පිළිකා රෝගීන් 35,000ක පමණ ප්‍රමාණය අතරින් ආසන්න වශයෙන් 1,000ක පිරිසක් ළමුන් බවද ඔහු හෙළි කළේය.
මාධ්‍ය හමුවට එක්වූ මහරගම ජාතික පිළිකා ආයතනයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළේ, ළමුන්ගෙන් 95%කට ආසන්න පිරිසකට පිළිකා රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ හැකි බවයි. මුල් අවස්ථාවේ හඳුනාගැනීම සහ නිසි ප්‍රතිකාර මඟින් මෙම ඉහළ සුවවීමේ අනුපාතය ළඟා කර ගත හැකි බව ඇය අවධාරණය කළාය.
ජාතික පිළිකා මර්දන වැඩසටහන, ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාග ලබාදෙන ලෙස හැකියාව ඇති පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටී. මේ සඳහා අවශ්‍ය විස්තර 0112850252 සහ 0112897318 යන දුරකථන අංකවලින් ලබා ගත හැකි බවත් එම වැඩසටහන දන්වා ඇත.