ලෝකෙම ආදරේ දිනා ගනිමින් සාමය ගේන්න ලෝකේ වටේ ගිය ආලෝකට අත් වූ ඉරණම
සැතපුම් දහස් ගණනක් පුරා සාම පාගමනේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟින් ගමනේ යන ලොවක් ආදරය කරන ‘ආලෝක’ට පාදයේ සිදුකළ සැත්කම සාර්ථක වී ඇත. ඒ අනුව මේ වනවිටත් සාම පාගමනේ දින ගණනාවක් පසුකර ආ ආලෝකගේ පාදයේ සැත්කම කර තිබුණේ ඊයේ(12) දිනයි.
පළමුව මෙම සැත්කම සඳහා පැය 2ක් හෝ 3ක් ගතවනු ඇතැයි අනුමාන කළත් එය පැයක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබුණා.
එමෙන්ම මේ වන විට අලෝක දැඩි වෛද්‍ය අවධානය යටතේ විවේක ගනිමින් සුවය ලබමින් සිටියි.
කෙසේ වෙතත් සැත්කමට පෙර, ඉතා දක්ෂ පශු වෛද්‍ය කණ්ඩායමක් මඟින් අලෝකව ප්‍රවේශමෙන් සූදානම් කර තිබූ අතර සැත්කම සිදුකිරීමේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනෙන සේ සුවදායී ගැඹුරු නින්දකට (නිර්වින්දනය) පත්කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
එමෙන්ම අලෝකගේ පාදය සුව කිරීම සඳහා විශේෂඥයන් කටයුතු කරන අතරතුර ඔහු ඉතා සන්සුන්ව සිටීම සැමට විශාල සහනයක් වූ බවත් සඳහන්.
එමෙන්ම මෙහිදී භික්ෂූන්වහන්සේලා විසින් Charleston Veterinary Referral Center (CVRC) හි වෛද්‍ය කණ්ඩායම දැක්වූ කරුණාව සහ කැපවීම අගය කළා.
එසේම එහි ඇති විශේෂත්වය මෙම වෛද්‍ය කණ්ඩායම සිය වෘත්තීය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමයි.
ඒ අනුව අලෝක මේ වන විට ඉතා හොඳින් සුවය ලබමින් සිටින අතර, හැකි ඉක්මනින් ඔහු යළි භික්ෂූන් වහන්සේලා වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝක මීට පෙර මෙම භික්ෂූන් වහන්සේලා සිදුකළ දීර්ඝ පාගමනකදී හමුවී උන්වහන්සේලා සමඟම සිටි නිසා ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
හ්ඔන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානය මඟින් සංවිධාන කළ, ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700ක් පමණ දුරක් ආවරණය කරන මෙම 'සාමය උදෙසා පාගමනට’ අරමුණ වන්නේ ඇමරිකාව සහ මුළු ලෝකය පුරාම සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ දැනුවත්භාවය පැතිරවීමයි.
ඉකුත් ඔක්තෝබර් 10 වන දින ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පාගමනට වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් ගත වන බවට මින් පෙරදී අනුමාන කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගමන පුරාවට ආලෝක ද භික්ෂූන් වහන්සේලා සමඟින් පාගමනේ යෙදීම විශේෂත්වයක්.
මේ අතර 'Aloka -The Peace Dog' වශයෙන් හඳුන්වන ඔහුට මේ වනවිට 244,000ක අනුගාමිකයින් පිරිසක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සහ ලක්ෂ 6ක් සිටින ෆේස්බුක් ගිණුමක් පවා ඇති බව සඳහන්.