ළමයින් සේවයේ යෙදවීමේ පනත් සංශෝධනයට - වැරදි සඳහා දඩ මුදල් ලක්ෂය දක්වා ඉහළට
පාර්ලිමේන්තුවේදී ලබන 20 වනදා දෙවැනි වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිත ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලන ලදී.
එම කාරක සභාවේ ස්ථාවර සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ මහතා එදින සහභාගී නොවීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් සහ මූලිකත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.
මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දැක්වූ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බවයි.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
එමෙන්ම, වයස අවුරුදු 16 ට වැඩි එහෙත් අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි හා කොන්දේසි රැසක් ද මෙම පනත මඟින් පනවා තිබේ.