කෘත්‍රිම බුද්ධිය ගෝලීය ආර්ථිකයේ නව බලවේගයයි
වවුනියාව විශ්වවිද්‍යාලයේ ITAM–32 ජාත්‍යන්තර සමුළුවේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා කෘත්‍රිම බුද්ධිය ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් ලෙස අවධාරණය කළේය.
“කෘත්‍රිම බුද්ධිය යුගයේ තාක්ෂණික ව්‍යවසායකත්වය” යන තේමාව යටතේ පැවති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් ගෝලීය ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගත් දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති බවයි.
ඔහු සඳහන් කළේ නූතන ඩිජිටල් ආර්ථිකය තුළ දත්ත ප්රාග්ධනය ලෙස ක්‍රියා කරන අතර, නවෝත්පාදනය ප්‍රාථමික මුදල් ඒකකය බවත්ය.
සාම්ප්‍රදායික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉක්මවා වලාකුළු පරිගණකකරණය, දත්ත විශ්ලේෂණය වැනි නවීන තාක්ෂණ භාවිතා කරන ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීම ජාතික ප්‍රගතියට අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
කෘත්‍රිම බුද්ධිය හුදෙක් තාක්ෂණික ප්‍රවණතාවක් නොව, විදුලිය හෝ අන්තර්ජාලයට සමාන පරිවර්තනීය බලවේගයක් බවත්, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, මූල්‍ය හා රාජ්‍ය සේවාවන් ඇතුළු සියලු අංශ හරහා ඵලදායිතාව නැවත හැඩගැස්විය හැකි බවත් ඔහු පැහැදිලි කළේය.
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම තාක්ෂණය වැළඳගැනීමෙන් සංවර්ධන අවධීන් පසුකර වේගයෙන් ඉදිරියට යාමට අනන්‍ය අවස්ථාවක් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රැකියා වෙළඳපොළේ සිදුවන වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ස්වයංක්‍රීයකරණය නිසා රැකියා අහිමිවීමේ අවදානම තිබුණද, විසඳුම ලෙස ශ්‍රම බලකාය නව කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම බවයි.
රජය ඩිජිටල් සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමට හා ජීවිත කාලය පුරාම ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනයට කැපවී සිටින බව ඔහු කීය.
දත්ත යටිතල පහසුකම් මාර්ග හා වරායවලට සමානව තීරණාත්මක බවත්, වගකිවයුතු දත්ත පාලනය, සයිබර් ආරක්ෂාව හා සදාචාරාත්මක AI රාමුවක් ස්ථාපිත කිරීම ජාතික ප්‍රමුඛතා බවත් ඔහු අවධාරණය කළේය.
තාක්ෂණයේ ප්රතිලාභ සමාජයේ සියලුම කොටස් වෙත සමානව ගලා යා යුතු බවත්, නාගරික-ග්‍රාමීය ඩිජිටල් පරතරය අඩු කිරීම, ග්‍රාමීය ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායකයින් හා තරුණ නවෝත්පාදකයින්ට සමාන අවස්ථා සැලසීම රජයේ ප්‍රධාන අරමුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.
අවසානයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ප්‍රගතිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් පමණක් නොව, තාක්ෂණය මගින් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු වන ප්‍රමාණයෙන් ද මැනිය යුතු බවයි.