ලංකාවේ තරුණයන් ලක්ෂයකට රැකියා දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක දැවැන්ත ණයක්
ශ්‍රී ලංකාවේ තරුණයන් 100,000කට වැඩි පිරිසකට රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය පුහුණුව ලබාදීම සහ රටේ පුහුණු ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය නවීකරණය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා සංවර්ධනය කිරීම, පුහුණු ආයතන හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සබඳතා ශක්තිමත් කිරීම සහ තරුණයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර සඳහා නව වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදීමටද නියමිතය.
මීට අමතරව, මෝටර් රථ තාක්ෂණය සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ පළාත් නවයම ආවරණය වන පරිදි පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමද වැඩසටහන යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.
පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා පුළුල් කිරීම, ගුරුවරුන්ගේ පුහුණු හැකියාවන් වැඩිදියුණු කිරීම මෙන්ම පුහුණුව ලබන තරුණයන්ගේ කුසලතා ඇගයීම සහ සහතික කිරීමේ ක්‍රියාවලිය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ සහභාගීත්වය වැඩි කිරීමද වැඩසටහනට ඇතුළත්ය.
තවද සේවා ස්ථාන ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ පෞද්ගලික අංශය සමඟ සබඳතා ශක්තිමත් කිරීම හරහා පුහුණුව අවසන් කරන තරුණයන් රැකියා වෙළෙඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කිරීමද අපේක්ෂා කරනු ලබයි .
කාන්තාවන්ටද මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සාම්ප්‍රදායික නොවන රැකියා ක්ෂේත්‍ර වෙත පිවිසීමට වැඩි අවස්ථා ලබාදීම වැඩසටහනේ තවත් අරමුණක් වේ .
මෙම ණය මුදල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කවුලින් මහත්මිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික පරිවර්තනය සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා පුහුණු ශ්‍රම බළකායක් අත්‍යවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද, රටේ ප්‍රධාන ආර්ථික අංශ රැසක පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින බවද ඇය පෙන්වා දෙයි.
එමෙන්ම, මෙරට තරුණ විරැකියා අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය සාපේක්ෂව පහළ මට්ටමක පවතින බවද ඇය සඳහන් කර තිබේ.