අදානි ගැන රනිල් මෙසේ කියයි.. වැඩ වරද්ද ගන්න එපාලු!
මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදානි වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවත්, 2060 වසර වන විට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ගොඩනැගීමට ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බවත්, ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකාව තවදුරටත් දිළිඳු තත්ත්වයේ පසුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත "ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙම උත්සවය ඊයේ (25 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ "බැංකු විදු පියස" හිදී පැවැත්විණි.
බලශක්ති ගිවිසුම් නැවත සංශෝධනය කිරීම හෝ කොන්දේසි වෙනස් කිරීම මගින් ආයෝජකයන් රටට නොපැමිණෙන තත්ත්වයක් ඇති වන බව ඔහු අවධාරණය කළේය.
මෙරටට ඩොලර් බිලියන 2-3ක බලශක්ති යෝජනා ඉදිරිපත් වී ඇති බවත්, මෙම මුදල්වලට ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බැවින් ඒවා වෙනත් රටවලට ලබා ගැනීමේ අවස්ථාව වැඩි බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ අවදානම් තත්ත්වය තවමත් පවතින නිසා ආයෝජකයන් නිපදවන බලශක්තියට අධික මිලක් ගෙවීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අදානි සමාගම සමග මෙරට කමිටුවක් සාකච්ඡා කළ බවත්, එහිදී අගය පිළිබඳ මිනුම් දඬු සකස් කළ බවත්, අදානි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවශ්‍යතාවක් පවතින බවත් ඔහු පැවසීය.
ඉන්දියානු අගමැතිවරයා සමග කළ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවෙන් විදුලිය මිලදී ගැනීම බවත්, එය නව විදේශ ආයෝජන ලබා ගත හැකි මාර්ගයක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රාග්ධනය සහ තාක්ෂණය තිබිය යුතු බවත්, එය අප සතුව නොමැති නිසා එම සම්පත් වෙනත් රටවලින් ලබා ගත යුතු බවත් ඔහු කීවේය. චීනය, වියට්නාමය වැනි රටවල් ද මෙලෙස කටයුතු කළ බව ඔහු උදාහරණයක් ලෙස දැක්වීය.
