පුවක් ගැන බය හිතෙන කතාවක් - පාසල් වයසේ දරුවන්ටත් මුඛ පිළිකා අවදානමක්

By Malith Madushan Oct 13, 2026 07:30 AM GMT
Report

රසකාරක එක් කළ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හේතුවෙන් පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර මුඛ පිළිකා හා පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් පිළිබඳ අවදානම ඉහළ යමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පෙන්වා දෙන්නේ බුලත්විටේ අඩංගු සංඝටක අතරින් ප්‍රධාන පිළිකා කාරකයක් ලෙස පුවක් හඳුනාගෙන ඇති බවයි.

ඔහු සඳහන් කරන පරිදි, පුවක් සහ දුම්කොළ එකට භාවිත කිරීමෙන් ඇතිවන සංයෝගය ද බරපතළ සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. එහෙත් වර්තමානයේ විවිධ රසකාරක යෙදූ පුවක් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය වීමත් සමඟ මෙම ගැටලුව වැඩිහිටියන්ට පමණක් සීමා නොවී පාසල් සිසුන් සහ තරුණයන් අතරට ද ව්‍යාප්ත වී තිබේ. 

 මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ පර්යේෂණ සහ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් නිරීක්ෂණය කිරීමේදී පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන තරුණ පිරිස් අතර පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් හඳුනාගෙන ඇති බවයි.

පාසල් ආශ්‍රිත වෙළෙඳසල්වල ද මෙම නිෂ්පාදන අලෙවි වන බව පෙන්වා දෙන ඔහු, අඩු මිලකට ලබාගත හැකි වීම නිසා ඒවායේ සෞඛ්‍ය හානි පිළිබඳ අවබෝධයකින් තොරව දරුවන් ඒවා භාවිතයට යොමුවීම ගැටලුවක් වී ඇති බව සඳහන් කරයි.

කොටස් වෙළෙඳපොළේ අද වෙනසක් - කොළඹ වෙළෙඳපොළේ නවතම තත්ත්වය මෙන්න

කොටස් වෙළෙඳපොළේ අද වෙනසක් - කොළඹ වෙළෙඳපොළේ නවතම තත්ත්වය මෙන්න

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුඛ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුවන් ජයසිංහ මහතා ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුළ පුවක්, දුම්කොළ හෝ ඒවායේ මිශ්‍රණ අඩංගු කුඩා පැකට් ආකාරයේ නිෂ්පාදන සමාජය තුළ බහුලව භාවිත වන බවයි.

විශේෂයෙන්ම තරුණ පරම්පරාව සහ පාසල් සිසුන් මෙම නිෂ්පාදන භාවිතයට යොමුවීම කනස්සල්ලට හේතුවක් වී තිබේ.

තමන් නිරීක්ෂණය කළ මුඛ පිළිකා රෝගියෙකු අතර වයස අවුරුදු 17ක තරුණයෙකු ද සිටි බව මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම පුරුදු තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ඉදිරි වසරවලදී තරුණ පරම්පරාව අතර මුඛ පිළිකා ගැටලුව තවදුරටත් බරපතළ විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ මුඛය හා ඒ ආශ්‍රිත පිළිකා හේතුවෙන් දිනකට පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කර තිබේ.

විශේෂඥයන්ගේ මෙම අනතුරු ඇඟවීම් අනුව, පුවක් හා දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය හානි පිළිබඳව පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය වේ.

තඹුත්තේගම මූලික රෝහලේ විරෝධතාවක් - හේතුව මෙන්න

තඹුත්තේගම මූලික රෝහලේ විරෝධතාවක් - හේතුව මෙන්න