අලුත් අවුරුද්ද පටන් ගන්න තව දින කිහිපයක් තියෙද්දී ඖෂධ හිගයක පෙර නිමිත්තක්ද මේ..
දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඖෂධ සැපයීමට මාස හයක කාලයක් අවශ්‍ය බව දේශීය නිෂ්පාදකයන්ගෙන් සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට පෙරේදා (26) දැනුම් දී ඇත.
දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් 2025 වර්ෂය සඳහා ඖෂධ ලබා ගැනීම සඳහා ඇනවුම් ලබාදීම පිළිබඳ වූ සාකච්ජාවක් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පෙරේදා (26වැනිදා) පැවැත්වුණි.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරියගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී දේශීය ඖෂධ වර්ග 308ක් ඖෂධ ලබා ගැනීම සඳහා වූ තොග ඇනවුම් ගණනය කිරීම සහ නිෂ්පාදකයන් දැනුවත් කිරීමක් සිදුවිය. ඉන්පසු එක් එක් නිෂ්පාදකයාට ලබාදුන් ඖෂධ තොග අද (28 වැනිදා) පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුවට යොමු කිරීමට සෞඛය අමාත්‍යංශය සැලසුම්කර ඇත.
මෙම අවස්ථාවේදී දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් සංගමය පෙන්වා දුන්නේ තොග ඇනවුම් නිශ්චිත ලෙස මෙතෙක් ලබා නොදීම නිසා ලබන වසරේ ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීම සිදුකළ නොහැකි බවයි.
ඖෂධ ලබා ගැනීම සඳහා මාස හයක පමණ කාලයක් අවශ්‍ය බවද නිෂ්පාදකයන් මෙහිදී පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව කළ විමසුමකදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ අද (28 වැනිදා) පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුව රැස්වීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබාගෙන අදාළ ඖෂධ තොග ඇනවුම් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කරන බවය.