සෙනුරි මියගියේ මිනුවන්ගොඩ රෝහලේ නොසැලකිල්ලෙන්ද ?
මිනුවන්ගොඩ මූලික රෝහලේදී ඩෙංගු රෝගයට ගොදුරු වූ 22 හැවිරිදි තරුණියක් ගම්පහ රෝහලට මාරු කිරීමෙන් මිනිත්තු 20කට පසු මිය ගියේය. මව්පියන් චෝදන කරන්නේ මෙය වෛද්‍ය නොසැලකිල්ල මත සිදූවූවක් බවයි.
මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි විවාහක තරුණියක වන සෙනුරි තක්ෂිලා ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.
ඉකුත් 18 වැනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබූ ඇය දින 4ක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා අලුයම 1ට පමණ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර ඇත.
එහි ඇතුළත් වී මිනිත්තු 20කට පමණ පසු ඇය අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
සෙනුරිගේ මව්පියන් හා සැමියා චෝදනා කරන්නේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හා නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් දියණිය මිය ගිය බවයි.
ඔවුන් පවසන්නේ දින 4ක් රෝහලේ සිටියදී ඩෙංගු රෝගය ඇති බව හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වූ බවයි.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණයට හේතුව ඩෙංගු රෝගය බව තහවුරු වී ඇතත්, මව්පියන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රෝගය කල් තබා හඳුනාගැනීමට හෝ නිසි ප්‍රතිකාර ලබාදීමට අපොහොසත් වීමයි.
සෙනුරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) මිනුවන්ගොඩ ජාපාල වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.