අවුරුදු 18 ට අඩු දරුවන් සහ තරුණයන් ගැන බය හිතෙන කතාවක්
කොළඹ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ව සිටින පලනි රිමෝෂන් නැමැත්තා විසින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් හා තරුණයන් සම්බන්ධ කරගනිමින් පාතාල හමුදාවක් නිර්මාණය කරගනිමින් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
පසුගිය 16 වැනිදා කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු හා එම පුද්ගලයාගේ ලොකු අම්මා වන 70 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වූ 42 හැවිරිදි පුද්ගලයා ඉලක්කර ගෙන බවටයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මීට වසරකට පෙර ජින්තුපිටියේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන අතර ඔහු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුට නවාතැන් දුන් පුද්ගලයා බවද අනාවරණය වී ඇත.
එම පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනවලට අනුව වෙඩික්කරු හා ආධාර අනුබල දුන් 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු නීතිඥවරුන් මාර්ගයෙන් පෙරේදා කොටහේන පොලිසියට භාර වී තිබිණි. සැකකරුවන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
වෙඩි තැබූ බව කියන 17 හැවිරිදි තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් පලනි රිමෝෂන්ගේ වුවමනාවට වෙඩි තැබු බවය. පාතාල ලෝකයට පිවිසීමට ඇති ආසාව හේතුවෙන් තමා මෙම වෙඩි තැබීම සිදුකළ බවත් ඒ සඳහා මුදල් ලබානොගත් බවත් සැකකරු පවසා ඇත.
පොලිසිය සඳහන් කරන්නේ පලනි රිමෝෂන් නැමැත්තා බලවයස්කරුවන් අපරාධ ක්‍රියා සදහා යොදාගැනීමට කටයුතු කරන බවත් සැකකරු පවසා ඇති බවයි.
එසේම මෙම සිද්ධියට අදාළව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 18 හැවිරිදි සැකකරු වෙඩික්කරු හා අනෙක් පිරිස දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කිරීම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරවින්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් හමුවී නැත.
සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
