කෝටි සීයට වඩා පොලු තියපු 90ක් ඉන්නවා අය කර ගන්න බැරි නම් අඩුම නම්වත් කියන්න, පාඨලීගෙන් අභියෝගයක්
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝටියට වඩා වංචා කළ 4,500ක් සිටින බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
එසේම කෝටි 100ට වඩා වංචා කළ 90 දෙනෙක් සිටින බවත් ඔහු සඳහන් කර ඇත.
හිටපු ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින්.
ඒ අනුව ඔහු සඳහන් කළේ,
''චීනයට අයිති ව්‍යාපෘතියක් එනම් පෝට්සිටි ව්‍යාපෘතියට අදාළ සමාගම් හතරකට බදු සහන දුන්නා. අපිට දවස පුරා ඇහෙන්න ලැබෙනවා මහින්ද රාජපක්ෂ අහවල් ට්‍රිප් එක ගියා මෙච්චර වියදම් කළා. රනිල් වික්‍රමසිංහ අහවල් ට්‍රිප් එක ගියා මෙච්චර වියදම් කළා. අහවල් ඇමති මෙච්චර වියදම් කළා කියලා. හරිද? මේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තියපු, හරි ද කෝටියට වඩා පොලු තියපු, හාරදහස් පන්සීයක් ඉන්නවා. කෝටි සීයට වඩා පොලු තියපු අනූ දෙනෙක් ඉන්නවා. මුදල් ඇමතිට මම අභියෝග කරනවා ඔබ අවංක නායකයෙක් නම්, ඔබ ඍජු නායකයෙක් නම්, ඔබ දූෂණයට විරුද්ධ නායකයෙක් නම් මේ පිටිකිරි වලට, සීනි වලට, පරිප්පු වලට, අහිංසක ජනයාට බදු ගහන අතරේ පුළුවන් නම් මේ බිලියනයකට වඩා, කෝටි සීයට වඩා පොලු තියලා තියෙන, අනූ දෙනාගෙන් අය කරගන්න බැරි නම්, නම් ටිකවත් කියන්න.'' යනුවෙන්.