''සූර්ය බලයට බැටරි ගබඩා පද්ධති එක්වෙයි” - මිලියන 600ක ආයෝජනයක්
ශ්‍රී ලංකාවේ විදුලංකා පීඑල්සී (Vidullanka PLC) සමාගමට කොටස් හිමි ව්‍යාපෘති සමාගම් විසින් දැනට ක්‍රියාත්මක භූමිය මත ස්ථාපිත සූර්ය බලශක්ති ව්‍යාපෘති සමඟ ඒකාබද්ධ කෙරෙන මෙගාවොට් 18.7ක / මෙගාවොට් පැය 93ක බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපනය කිරීම සඳහා ජයග්‍රාහී ලංසු ඉදිරිපත් කර තිබේ.
මෙම ව්‍යාපෘති Build, Own and Operate (BOO) ක්‍රමවේදය යටතේ වසර 15ක මෙහෙයුම් කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කළ නිවේදනයක සඳහන් කර ඇත.
ව්‍යාපෘති හතර සඳහා විදුලංකා සමාගමට අදාළ ඇස්තමේන්තුගත කොටස් ආයෝජනය රුපියල් මිලියන 600ක් පමණ වන අතර, අවසන් ප්‍රාග්ධන ව්‍යුහය සහ පිරිවැය සංශෝධන අනුව එම මුදල වෙනස් විය හැකි බව සමාගම පවසයි.
මෙම ආයෝජනය සඳහා ප්‍රධාන වශයෙන් සූර්ය බලශක්ති මෙහෙයුම්වලින් උපයන අභ්‍යන්තර මුදල් ප්‍රවාහය භාවිත කිරීමට නියමිත අතර, ව්‍යාපෘති මට්ටමේ ණය පහසුකම් ද ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
විදුලංකා සමාගම පවසන්නේ දැනට ක්‍රියාත්මක භූමිය මත ස්ථාපිත සූර්ය බලශක්ති පහසුකම් වෙත බැටරි ගබඩා පද්ධති එක් කිරීමෙන් සූර්ය බලය විදුලි ජාලයට එක් කිරීම වඩාත් කාර්යක්ෂම කිරීමට හැකි වන අතර, බලශක්ති අපතේ යාම අඩු කර ජාතික විදුලි ජාලය ස්ථාවර කිරීමටද සහාය වන බවයි.
මෙම ව්‍යාපෘති අතරින් මෙගාවොට් 4.9 / මෙගාවොට් පැය 25 ධාරිතාවකින් යුත් ව්‍යාපෘති තුනක් Solar Universe (Pvt) Ltd, Sooryashakthi (Pvt) Ltd සහ DPV Solar Energy (Pvt) Ltd යන සමාගම් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම සමාගම් තුනේම විදුලංකා සමාගමට සියයට 50ක කොටස් හිමිකමක් පවතී. සිව්වැනි ව්‍යාපෘතිය මාදම්පේ පිහිටි VidulSolar (Pvt) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එම සමාගම සම්පූර්ණයෙන්ම විදුලංකා පීඑල්සී සමාගමට අයත් වේ.
එම ව්‍යාපෘතියේ බැටරි ගබඩා ධාරිතාව මෙගාවොට් 4ක් / මෙගාවොට් පැය 18ක් ලෙස සඳහන් වේ. කෙසේ වෙතත්, ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවසන් ලේඛන කටයුතු සහ නිල අනුමැතිය ලබාගැනීම තවදුරටත් සිදුකළ යුතුව තිබේ.
සමාගම සඳහන් කරන්නේ ව්‍යාපෘති සමාගම් ඉදිරිපත් කළ ලංසු මිල ගණන් ජයග්‍රාහී ඇගයීම් සීමාව තුළ පැවතියද, ව්‍යාපෘති සඳහා නිල ප්‍රදාන ලිපි (Letters of Award) ලබාගැනීම, නියාමන අනුමැතීන් හිමිවීම සහ අවසන් ව්‍යාපෘති ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව පමණක් ව්‍යාපෘති නිල වශයෙන් තහවුරු වන බවයි.
අදාළ නිල ප්‍රදාන සහ අවසන් ගිවිසුම් සම්පූර්ණ කිරීමෙන් පසු වැඩිදුර තොරතුරු නිවේදනය කරන බවද විදුලංකා පීඑල්සී සමාගම සඳහන් කර තිබේ.