"පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා වසර 7කදී රට ඛේදවාචක 5කට මුහුණ දුන්නා" - විපක්ෂ නායක
පසුගිය වසර 7ක කාලය තුළ රටක් ලෙස ඛේදවාචක 5කට මුහුණ දීමට සිදුවූ බවත්, පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා විවිධ අවිනිශ්චිතතා හා අවදානම් රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එවැනි පසුබිමක රට උපක්‍රමශීලීව හා ක්‍රමෝපායිකව සංවර්ධනය කරා ගෙන යා යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, යුක්තිගරුක, විනයගරුක හා අධ්‍යාත්මික ජන පරපුරක් බිහි කරමින් සියලු ජනතාවට සෞභාග්‍ය උදාකරන රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍යාමොපාලි වනවාස නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් ඇල්පිටිය, කහදූව, වතුරුවිල, තිබ්බොටුවාව වනවාස මූලස්ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනයට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කරමින් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඊට සමගාමීව සෙසු ආගම්, සංස්කෘතීන් සහ ජන කොට්ඨාසවල අනන්‍යතාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමද සියලු දෙනාගේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි සංහිඳියාවක් හා එකමුතුභාවයක් තුළින් විනයගරුක, යුක්තිගරුක, ශීලාචාර, ශිෂ්ටසම්පන්න හා ප්‍රබුද්ධ ජන සමාජයක් නිර්මාණය කළ හැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මෑත කාලයේදී සම්බුද්ධ ශාසනයට අහිතකර විවිධ බලවේග මතුව ඇති බවත්, බුදුදහම විකෘති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් ලෙස සැලකෙන මහා සංඝරත්නය විවේචනයට, අපහාසයට, නින්දාවට සහ චරිත ඝාතනයට ලක්වන අවස්ථා පවතින බැවින් මතිමතාන්තර කුමක් වුවත් මහා සංඝරත්නය සුරක්ෂා කිරීම ජාතික වගකීමක් ලෙස සැලකිය යුතු බවද ඔහු කියා සිටියේය.
රට තුළ පන්සල් 14,129ක්, දහම් පාසල් 10,347ක්, ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් සහ පිරිවෙන් 824ක් පවතින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මෙම පන්සල් පද්ධතිය ආරක්ෂා කරමින් එමගින් සිදුකරන ආගමික හා ශාසනික සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු පැවසීය.
කොරෝනා වසංගතයෙන් පසු දහම් අධ්‍යාපනය යම් පසුබෑමකට ලක්ව ඇති බැවින් දහම් පාසල් පද්ධතිය දරු හා යොවුන් පරපුර සමඟ වඩාත් සම්බන්ධ වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මහා සංඝරත්නය සහ පන්සල් පද්ධතිය සුරක්ෂා කරන ආකාරයෙන්ම සමස්ත රටද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. කවුරුන් කුමන මතයක් දැරුවද රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සහ නිදහස ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මේ වනවිට ලෝකය අවදානම් සහගත යුගයකට මුහුණ දෙමින් සිටින බවත්, ගෝලීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ ව්‍යසන සහ ඛේදවාචක නිර්මාණය වෙමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ව්‍යසනවලට අමතරව පරිසර පද්ධතියේ සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන්ද රටවල් රැසකට නව අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.