නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා අනුමත කර ඇති රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල මැයි මාසය අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති, සුළි කුණාටුවෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම සහ නව නිවාස ලබාදීම පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.
මෙහිදී පූර්ණ හානියට පත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබාදීම හෝ නව නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු වී ඇත.
තවද, මේ වන විට තාවකාලික කඳවුරුවල ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදෙන තුරු සුදුසු තාවකාලික නිවාසවලට මාරු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
අධි අවදානම් කලාපවල ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීම සහ වන්දි නොගත් පවුල් සඳහා නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.