නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ආකාරයට හැසිරීමේ පුවතක් ඊයේ (30) දින වාර්තා වුණා.
එහිදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්රහාර එල්ල කරමින් සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙක් බව සඳහන්.
ඒ අනුව ඔවුන්ගේ ප්රකාශ සටහන් කරගැනීමෙන් පසුව අද (31) දින ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්රීවරු විරෝධය පළකිරීමත් සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.
මෙම තත්ත්වය ඇතිවී තිබුණේ පසුගිය දා පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලක් මත ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සභා ගර්භයට පැමිණ ක්රියා කළ ආකාරය සම්බන්ධයෙන්.
නගරාධිපතිවරයා න්යායපත්රානුකූලව සභාවේ කටයුතු ක්රියාත්මක කළ අතර ඉන්පසුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් ලේකම් මණ්ඩලය රැඳි සිටින පෙදෙසට වතුර බෝතල්වලින් ප්රහාර එල්ල කර තිබුණා.
මෙම තත්ත්වය පාලනය කිරීම අපහසුවීමත් සමඟ සභාව විනාඩි 30කට කල්තැබීමට නගරාධිපතිවරයා කටයුතු කළ අතර එහිදීද විපක්ෂයේ මන්ත්රීවරු කෑ ගසමින් නොසන්සුන් ආකාරයට හැසිර ඇත.