විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව අදට පෙත්සම් 37ක් - ඉදිරි සති දෙක තීරණාත්මක වෙයි
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 37ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
ඒ මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසකගේ විරෝධතාවය මැදයි.
ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු දිනය වන ඊයේ දිනයේම එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6 ක් ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මහාචාර්ය ජී.එල්. පීරිස්, සමගි ජන බලවේගය, සර්ව ජනබලය පක්ෂය, නිදහස් නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව එසේ පෙත්සම් ගොනු කර තිබුණා.
එසේම ඉන් පාර්ශ්ව කිහිපයක්ම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටි බව වාර්තා වේ.
මේ අතර 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරි සති දෙක තුළ පෙත්සම් ගොනුකළ හැකි අතර ඉන් පසුව සති තුනක් තුළ එම පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දැන්විය යුතු වේ.