"විපක්ෂයට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කරනවා"- අධිකරණ අමාත්‍යවරයාගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය මගින් කිසිවෙකු පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට අදහස් නොකරන බවත්, එහි ප්‍රධාන අරමුණ නඩු විභාග කඩිනම් කර මහජනතාවට කාර්යක්ෂමව යුක්තිය ඉටු කිරීම බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ගෙන ඒමේ පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම යෝජිත සංශෝධන රටේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක කොටසක් බවයි.

“අපි මෙම සංශෝධනය ගෙන එන්නේ අධිකාරීවාදී වීමට, පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට නොවේ. මෙහි අරමුණ වන්නේ නඩු කඩිනමින් විභාග කර ජනතාවට යුක්තිය ඉටු කිරීමයි,” යනුවෙන් නානායක්කාර මහතා පැවසීය.

මෙම පියවර හුදකලා ක්‍රියාමාර්ගයක් නොවන අතර, 2024 වසරේදී රජය විසින් ආරම්භ කළ පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එම ප්‍රතිසංස්කරණ මහජනතාවට ලබාදුන් පොරොන්දු සහ රජයට ලැබුණු ජනවරමට අනුකූලව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බව ද ඔහු පැවසීය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘සෞභාග්‍යමත් දේශයක් – සුන්දර ජීවිතයක්’ (A Thriving Nation – A Beautiful Life) වෙත අවධානය යොමු කරමින් නානායක්කාර මහතා කියා සිටියේ, රටේ අධිකරණ හා නීති පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා එහි ප්‍රධාන මූලධර්ම කිහිපයක් අවධාරණය කර ඇති බවයි.

නීතියේ සාධාරණ හා සමාන ආරක්ෂාව, විනිවිදභාවය, කාර්යක්ෂමතාව, ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය එම මූලධර්ම අතරට ඇතුළත් වන බව ඔහු සඳහන් කළේය.

“අධිකරණ පද්ධතිය මෙම මූලධර්ම මත පදනම්ව ක්‍රියාත්මක කරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා. අද එම පොරොන්දුවේ එක් කොටසක් වන මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කරන දිනයයි,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

  යෝජිත සංශෝධන සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අදහස් දක්වමින් නානායක්කාර මහතා සඳහන් කළේ, විපක්ෂයට සිය අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇති නමුත්, රජය සිය අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි. “විපක්ෂයට ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් පැවසිය හැකියි.

අපි ජනතාව වෙනුවෙන් මෙම ගමන ඉදිරියටම ගෙන යනවා,” යනුවෙන් ඔහු පැවසීය. අද උදෑසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය ගෙන ඒමේ පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාදය ආරම්භ විය.

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

ලංකාවෙන්ම ජලභීතිකාව තුරන් කරන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට: බල්ලන් ලියාපදිංචිය සහ අභිජනනය නියාමනය කෙරෙයි

ලංකාවෙන්ම ජලභීතිකාව තුරන් කරන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට: බල්ලන් ලියාපදිංචිය සහ අභිජනනය නියාමනය කෙරෙයි