මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට වැඩේ දෙයි - ණය ගෙවන්න ගිය මුදල් හැකර්වරුන් අතට?
අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.
අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ, ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිපියක් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.
ඒ අනුව, අදාළ කරුණු පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය කතානායකවරයා විසින් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ප්‍රශ්නය - ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා.
හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?
පිළිතුර - "මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි."
ප්‍රශ්නය- මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?
පිළිතුර - "මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ."