වරාය උණුසුම් වෙයි - ආනයනකරුවන් භාර නොගනී - වරායේ ලුණු බහාලුම් කඳුගැසෙයි
ආනයන සීමා ලිහිල් කිරීමේ සහන කාලයෙන් පසුව නැව්ගත කරන ලද ලුණු බහාලුම් 1,500කට අධික ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩගැසී තිබෙන බව රේගු බලධාරීන් අනාවරණය කර තිබෙනවා. ආනයනකරුවන් විසින් මෙම ලුණු තොග භාර නොගැනීම හෝ ප්‍රතිඅපනයනය නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, වරායේ ගාස්තු අයකර ගැනීමටද බාධා ඇති වී තිබෙනවා.
පසුගිය වසරේ (2025) මැයි 15 වැනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමකදී ලුණු ආනයනය සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුව, එම වසරේ ජුනි 10 වැනිදා දක්වා ලුණු ආනයනය සඳහා අවසර ලබා දෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා. මෙහිදී කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකළ ලුණු සහ ආහාරයට ගන්නා අයඩිනීකරණය කළ ලුණු සඳහා අවස්ථාව ලබා දී තිබුණා.
එම සහන කාලය තුළ ආනයනකරුවන් විසින් ඉන්දියාවෙන් ලුණු තොග රැසක් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. නමුත් නියමිත දිනයෙන් පසුව නැව්ගත කරන ලද ලුණු තොග මෙරටට ලැබුණු පසු ඒවා ප්‍රතිඅපනයනය කළ යුතුව තිබුණද, ආනයනකරුවන් ඒ සඳහා කටයුතු කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා අද (19) මාධ්‍ය හමුවකදී පැවසුවා.
“ලුණු ආනයනය සඳහා රජය සති කීපයකට පමණක් අවසර ලබා දුන්නා. එම කාලයෙන් පසුව පටවන ලද ලුණු තොග මෙලෙස වරායේ ගොඩගැසී තිබෙනවා. මෙම ලුණු ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා” යි ඔහු වැඩිදුරටත් පැවසුවා.
අදාළ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි නියමිත දිනයෙන් පසුව ලැබෙන ලුණු තොග ප්‍රතිඅපනයනය කළ යුතු බව සඳහන් වුවත්, ආනයනකරුවන් ඒවා භාර නොගැනීම නිසා රේගුවට ක්‍රියාමාර්ග ගැනීමේ අවකාශයක් නොමැති බවද ඔහු සඳහන් කළා. මෙම ලුණු තොග ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේදී ආනයනකරුවන්ට අමතර වියදම් දැරීමට සිදුවීම නිසා ඔවුන් ඒ සඳහා උනන්දු නොමැති බවත් පැවසෙනවා.
එක් බහාලුමක ලුණු මෙට්‍රික් ටොන් 15 සිට 20 දක්වා ප්‍රමාණයක් තිබෙන බවත්, මෙම තත්ත්වය නිසා වරායේ ගාස්තු අයකර ගැනීමටද බාධා ඇති වී ඇති බවත් රේගු අධ්‍යක්ෂවරයා පැහැදිලි කළා.
පෙර සිදු වූ ආනයනවලදී ආනයන පාලකගේ රෙගුලාසි උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රේගුවට දඩ මුදල් අයකර භාණ්ඩ නිදහස් කිරීමේ හැකියාව පැවති බවත්, නමුත් මෙම ලුණු ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රතිඅපනයන කොන්දේසිය නිසා රේගුවට ක්‍රියාමාර්ග ගැනීම අහිමි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම ගැටලුව විසඳීම සඳහා ගැසට් පත්‍රයේ කොන්දේසි යළි සංශෝධනය කිරීම පිළිබඳව වෙළෙඳ ඇමැතිවරයා පසුගියදා සාකච්ඡාවකදී කතාබහ කර ඇති බවත් වාර්තා වෙනවා. එසේම, මෙම ලුණු තොග වෙන්දේසි කර වරාය ගාස්තු අයකර ගැනීමේ හැකියාව වරාය අධිකාරියට පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.