ලෝක මව්වරුන්ගේ දිනය අදයි
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (මැයි 10) යෙදී තිබේ.
සෑම වසරකම මැයි මාසයේ දෙවන සතියේ ඉරිදා දින ලොව පුරා රටවල් රැසක මව්වරුන්ගේ දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන අතර, ඇතැම් සංස්කෘතීන් තුළ මෙම දිනය 'මව්වරුන්ගේ ඉරිදාව' ලෙස ද හඳුන්වනු ලබයි.
උපන් දා සිට දරුවන් වෙනුවෙන් නිහඬ මෙහෙවරක යෙදෙන මවකගේ සෙනෙහසේ මහිමය සහ පරිත්‍යාගය තව තවත් සිහිපත් කිරීමටත්, ඇයට කෘතඥතාව පළ කිරීමටත් මෙම දිනය සුවිශේෂී අවස්ථාවක් සපයයි.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස ඉතිහාසයට එක්වන්නේ ඇනා ජාවිස් (Anna Jarvis) නම් කාන්තාවකි. ඇගේ මව වූ ඈන් රීවිස් ජාවිස් අමෙරිකානු සිවිල් යුද්ධය පැවති සමයේදී මව්වරුන් සහ සොල්දාදුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නංවාලීම වෙනුවෙන් කැපවූ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියකි.
1905 වසරේදී ඇගේ අභාවයෙන් පසු, තම මවට ගෞරව කිරීම සඳහාත් සමස්ත මාතෘත්වය අගය කිරීම සඳහාත් විශේෂ දිනයක් වෙන් කිරීමට ඇනා ජාවිස් දැඩි උත්සාහයක නිරත විය.
ඇගේ එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දිනය 'මව්වරුන්ගේ දිනය' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
එතැන් පටන් ලොව පුරා විසිරී සිටින දූ දරුවන් තම මවට තෑගිබෝග පිරිනමමින්, ඇයව සතුටු කරමින් මෙම දිනය අභිමානයෙන් සමරනු ලබයි.